වරාය සේවකයාගේ ඝාතනයට සැකපිට වරාය සේවකයෙකු අත්අඩංගුවට

මීට වසර 6 කට පෙර වරාය සේවකයෙකු එම පරිශ්‍රය තුළදී ගිනි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරායේම සේවයේ නිරත වැඩ සහායකයෙකි.

සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු 41 හැවිරිදි වියේ පසුවෙයි.

2016 වසරේ දෙසැම්බර් 8 වැනි දින අලුයම් කාලයේ කොළඹ වරායේ සුළු සේවකයන්ගේ විවේකාගාරය තුළ හටගත් ගින්නකින් පුද්ගලයෙකු මියගියේය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කැලණිය ගෝනවල ප්‍රදේශයේ පදිංචිව සිටි 31 හැවිරිදි වියේ පසුවූ වරාය වැඩ සහායකයෙකි.

සිද්ධිය වූ අවස්ථාවේ සැකකරු හැඳ සිටි සරමේ ගැල්වී තිබූ පෙට්‍රල් සහ තවත් හේතු කිහිපයක් මුල්කරගනිමින් මෙම සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ කාමරයේම සිට ඇති මෙම සැකකරුගේ ඇඳ මත තිබූ සරමේ තිබූ පෙට්‍රල් සාම්පලයක් සහ අපරාධ ස්ථානයේ තිබී සොයාගන්නා ලද පෙට්‍රල් සාම්පලය සමාන බවට රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාවේ සඳහන්ව ඇත.

මේ අතර අත්අඩංගුවට ගත් සැකකරු එදින හැඳ සිටි සරමට පෙට්‍රල් එකතු වූයේ කුමන ආකාරයෙන්ද ?  තම වටිනා කියන දේපළ කිසිවක් ( රුපියල් 15000 අඩංගු මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය) ගින්නට හසු නොවී බේරා ගත්තේ කුමන ආකාරයටද ?   මරණකරුගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වූයේ කුමන හේතුවක් මතද ?  යන ප්‍රශ්නවලට හා තවත් ප්‍රශ්න කිහිපයකට සැකකරුට සාධාරණ පිළිතුරක් ලබාදීමට නොහැකි වී ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.