කේරළ ගංජා විකිණූ පොලිස් ලොක්කා හසුවූ අයුරු

කිලිනොච්චි පලෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලිස් නිලධාරියෙකු ද සම්බන්ධ කරගනිමින් කේරළ ගංජා විකුණන බවට කොළඹ සුරාබදු විශේෂ වැටලීම් ඒකකයට පසුගියදා තොරතුරක් ලැබී තිබේ.

ඒ අනුව කේරළ ගංජා කිලෝග්‍රෑම් 50ක් මිලදී ගැනීමට අවශ්‍ය බව පවසමින්, ඒ පිළිබඳ විමර්ශන සිදුකළ නිලධාරීන් ජාවාරම්කරුව සම්බන්ධ කරගෙන තිබුණි.

එහිදී සුරාබදු නිලධාරීන් යෙදවූ උපායදූතයාට පලෙයි පොල් සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතනයට ගංජා මිලදී ගැනීම සඳහා පැමිණෙන ලෙසට ජාවාරම්කරු දැනුම් දී ඇත.

පසුව උපායදූතයා එම ස්ථානයට පිටත් කර හැර සුරාබදු නිලධාරීන් ද එම ස්ථානයට ගොස් එම සිදුවීම රහසේ නිරීක්ෂණය කර තිබේ.

එම ස්ථානයට සිවිල් ඇඳුමින් සැරසී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් තමන් රැගෙන ආ ගංජා පාර්සලය උපායදූතයාට පෙන්වා ඇති අතර කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 250 ක් බරැති එම පාර්සලයට රුපියල් ලක්ෂ 15 ක් ලබාදෙන ලෙස ඔවුන් පවසා තිබේ.

ඉන් පසු අනෙක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 48 රැගෙන ඒමට හැකි බව යතුරුපැදියේ පැමිණි දෙදෙනා පවසා ඇත.

ඒ, සමග ක්‍රියාත්මක වූ සුරාබදු නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී, ගංජා රැගෙන ආ එක් අයෙකු පවසා ඇත්තේ තමන් පොලිස් නිලධාරියෙකු බවත් රාජකාරී කටයුත්තක් සඳහා පැමිණි බවත්ය.

එසේ පවසා සුරාබදු නිලධාරියෙකුගේ හිසට ඔහුගේ ගිනිඅවිය ද තබා තර්ජනය කර තිබුණි.

කෙසේවෙතත් මහත් පරිශ්‍රමයක් දැරූ සුරාබදු නිලධාරීන් විසින් එම පුද්ගලයා සහ යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ කේරළ ගංජා රැගෙන ආ පුද්ගලයා පලෙයි පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා බවය.

යතුරුපැදිය පදවාගෙන පැමිණි පුද්ගලයා එම පොලිස් ස්ථානයේම කොස්තාපල්වරයෙකු බවද හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published.