පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාග කර අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව අද (24) සඳහන් කළේය.
ඒ අනුව, රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ මෙම පෙත්සම් විභාගය අද දෙවැනි දිනටත් සිදුකෙරුණි.
ඒ, ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ.
පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සිය දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කර තිබුණි.
අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන බවය.
මහ බැංකුවේ වගවීම ද මෙමගින් වැඩිදියුණු කර ඇතැයි පැවසු ඔහු, මහ බැංකු අධිපතිවරයාට බලපෑම්වලින් තොරව ක්‍රියා කිරීමට ඉඩ සැලසී ඇති බවත් ප්‍රකාශ කළේය.
යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වන බවට පෙත්සම්කරුවන් චෝදනා එල්ලකර තිබුණි.
එම තර්කය ප්‍රතික්ෂේප කළ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, යෝජිත පනත් කෙටුම්පත යටතේත් ශ්‍රී ලංකා මහ බැංකුව පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවය.
මහ බැංකුව සඳහා පත්කිරීම් සිදු කිරීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා ඇති බවත් අමාත්‍යවරයාට මහ බැංකුවේ කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කිරීමට හැකියාව පවතින බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
මහ බැංකුවේ ගිණුම් විගණනය කිරීමේ බලය ද රජයේ විගණකාධිපතිවරයාට පැවරී ඇති බව ඔහු පැවසීය.
ඒ අනුව යෝජිත පනත් කෙටුම්පතෙන් ශ්‍රී ලංකා මහ බැංකුව රජයේ, විධායකයේ පාලනයෙන් මිදෙන බවට පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එමෙන්ම පනත් කෙටුම්පතට සංශෝධන එක් කිරීමට පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.
ඉන් පසුව පෙත්සම්වලට අදාළ විභාගය අවසන් කළ අධිකරණය ලිඛිත දේශන ඇත්නම් ඒවා ලබන 27 වනදා ගොනු කරන ලෙස පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.
පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ නිගමනය රහසිගතව පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත දැනුම් දෙන බවද විනිසුරු මඩුල්ල සඳහන් කර තිබේ.
මෙම නඩු විභාගයේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයකි.
එලෙස අධිකරණයේ පෙනී සිටිමින් කරුණු පැහැදිලි කිරීම පිළිබඳ විනිසුරු මඩුල්ල මහ බැංකු අධිපතිවරයා වෙත සිය ස්තුතිය පළ කර ඇත.
පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් 07 ක් ගොනුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, පූජ්‍ය අතුරලියේ රතන හිමි, විශ්‍රාමික යුද හමුදා කර්නල් අනිල් අමරසේකර ඇතුළු පාර්ශ්ව විසිනි.
පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව ඔවුන් සඳහන් කරයි.