ජනපතිගෙන් හරිත ආර්ථික ප්‍රතිපත්තියක්

හරිත ආර්ථිකයට ඇතුළු වන කලාපයේ පළමු රට ලෙස මෙරටට හරිත ආර්ථික ප්‍රතිපත්තියක් ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තේ අපනයනයෙන් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පැමිණි අයුරින්ම හරිත ආර්ථික ප්‍රතිපත්තියෙන් ද ශ්‍රී ලංකාව පළමු තැනට ගෙන ඒම සිය අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා හරිත බලශක්ති සමුළුව සඳහා සහභාගි වීමට මෙරටට පැමිණි ආයෝජකයින් සමග ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළකර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ මෙරට ප්‍රධාන ගැටලු දෙකක් පවතින අතර ඉන් එකක් වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ය.

අනෙක් ප්‍රධාන ගැටලුව හරිත බලශක්තිය සඳහා රට යොමුකිරීම බව ද ජනාධිපතිවරයා පවසා ඇත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතින අතර රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැගීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හරිත ආර්ථිකයක් සඳහා යොමුවීමට ශ්‍රී ලංකාවට සෑම සුදුසුකමක්ම පවතින බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුළ සූර්ය, සුළං, ජීව වායූ මෙන්ම මුහුදු රළ උපයෝගී කරගනිමින් බලශක්තිය නිපදවීමට හැකියාව පවතින බව ද සඳහන් කළේය.

මේ අතර ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අනුමත කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කරන බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසා ඇත.

ජනාධිපතිවරයාගේ එම කැපවීම ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සහ අයිතිවාසිකම් සහතික කිරීමේ තීරණාත්මක පියවරක් බව ද ඔවුන් පෙන්වාදී තිබේ.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ ඇගයීම් කාර්යාලයේ අධ්‍යක්ෂ මාර්කෝ සෙගොන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසි සාකච්ඡා කර ඇති අතර එහිදී මෙම අදහස් පළකර ඇත.

ප්‍රතිපත්ති, ආයතනික සහ වෘත්තීය මට්ටමින් ශක්තිමත් ජාතික ඇගයීම් හැකියාවන් වර්ධනය කිරීමේ ජයග්‍රහණය පිළිබඳව ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මෙහිදි ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කර තිබේ.

Leave a Reply

Your email address will not be published.