ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි – දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය.

එතෙක් දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි සනත් නන්දසිරි මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන බව පවුලේ ඥාතීන් පැවසූහ.

දශක හයකට අධික කාලයක් මධුර හඬින් රටක් සනහා ලූ ජ්‍යෙෂ්ඨ ගායනශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) සිය ජීවන චාරිකාවට සමුදුන්නේය.

කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා මියයන විට 81 වැනි වියෙහි පසුවුණි.
                      
මෙරට ගීත ක්ෂේත්‍රයට කිසිදා අමතක නොවන ගීත රැසක් දායාද කළ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා ගොතටුව ප්‍රදේශයේදී උපත ලබන්නේ 1942 පෙබරවාරි 15 වැනිදාය.

ගොතටුව මහා විද්‍යාලය, ශාන්ත මැතිව්ස් විද්‍යාලය සහ මහබෝධි මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිස ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ඇතුළු සංගීත ක්ෂ්‍රේත්‍රෙය් භූමිකා රැසක් දිග්විජය කරන්නට සමත්වුණි.

දශක හයකට වැඩි කාලයක් පුරා මෙරට ශ්‍රාවකයාගේ සවන් මධුර හඬින් මුසපත් කළ ඔහු රසික හදවත් තුළ ජීවමාන කළ ගීත අතර, “මගේ රටට දළදා හිමි සෙවණයි…” අදටත් මෙරටට සෙත් පතන ගීත අතරේ ඉහළින්ම පවතී.

සුභාවිත ගීත කලාවත්, සරල තනු ගීත කලාවත් මැනවින් රසික හදවත් තුළ තැන්පත් කරන්නට සනත් නන්දසිරි මහතා සතුවූයේ අසීමිත හැකියාවකි.

ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද නන්දසිරි මහතාය.

සනත් නන්දසිරි මහතා 1971 වසරේ දෙසැම්බර් 18 වනදා ගායිකා මල්කාන්ති නන්දසිරි සමග යුගදිවියට එළැඹුණි.

ඔවුන් දෙදෙනාට දාව නිශාමනී අනුරාධා දියණිය උපත ලබන අතර ඇය ද ගායන ශිල්පිනියකි.

පණ්ඩිත් අමරදේවයන්ගේ අභාවයෙන් පසු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙසත් සනත් නන්දසිරි මහතා කටයුතු කළේය.

නන්දසිරි මහතා අද පෙරවරුවේ මියගියේ නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදීය.

කලක පටන් අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා මියයන විට 81 වැනි වියෙහි පසුවුණි.

Leave a Reply

Your email address will not be published.