සිංහල සිනමාවේ හිතුවක්කාරයාගේ ජීවන ගමනෙන් බිඳක්

සම්මානිත ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 82 වැනි වියේ පසුවුණි.

ඒ මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වූයේ ඔහු පදිංචිව සිටි ජාඇල නිවාස සංකීර්ණයේදීය.

අද පස්වරු 4 සිට දේහය මහජන ගෞරවය සඳහා බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබෙන බව කලංසූරිය මහතාගේ පවුලේ ඥාතීන් සඳහන් කළේය.

ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට අමරණීය මතක රැසක් දායාද කළ සම්මානිත ප්‍රවීන සිනමා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා 1940 වසරේ සැප්තැම්බර් 20 වනදා මහනුවරදී උපත ලැබීය.

පිළිමතලාව, කිරිබත්කුඹුර ස්වර්ණජෝති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයෙනි.

1969 වසරේ “රැයක් දවාලත්” චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු හන්තානේ කතාව, අහස් ගව්ව, බඹරු ඇවිත්, පොඩි විජේ යන චිත්‍රපටවල ඔහු විසින් ප්‍රකට කරන ලද රංගනය මෙරට සිනමාවේ රංගන ශිල්පියෙකු සතු විශිෂ්ඨත්වය විදහා දැක්වූ අවස්ථාවකි.

එමෙන්ම අක්කර පහ, නිම් වළල්ල, බඹරු ඇවිත්, පොඩි මල්ලි, සක්විති සුවය, පෙම් රජ දහන, අපේක්ෂා හි චරිත තුළින් ඔහුගේ රංගන ප්‍රතිභාව රසික හදවත් තුළ අමරණීය කරවූවා.

කලන්සූරිය මහතාගේ හොඳම මිතුරා වූ විජය කුමාරතුංගයන් සමග ඔහු වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට දායකත්වය ලබාදීමද විශේෂත්වයකි.

සිංහල සිනමාවේ පමණක් නොව මෙරට පළමු වර්ණ ටෙලිනාට්‍ය වූ “දිමුතු මුතු” හි ජයසේනගේ චරිතය නිරූපණය කළ අමරසිරි කලංසූරිය ඉතිහාසයට එක් වන්නේ මෙරට ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතය රගපෑ ප්‍රථම නළුවා ලෙසය.

දීපශිකා, සරසවි, ජනාධිපති, ස්වර්ණ සංඛ සහ සිග්නීස් සම්මානලාභියෙකු වූ මෙම රංගධරයා 2004 වසරේ දී සිග්නීස් සම්මාන උළෙලේ යාවජීව ගෞරව සම්මානයට ද පාත්‍ර වුණි.
 

Leave a Reply

Your email address will not be published.