ලක්ෂ 50 යතුරු පැදි සොරා මාට්ටු

යතුරුපැදි මිලදී ගන්නා මුවාවෙන් ගොස් ඉතා සූක්ෂම අයුරින් රුපියල් ලක්ෂ 50 කට ආසන්නව වටිනා යතුරු පැදි අටක් සොරා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු එම වංචා ට යොදා ගත් ජංගම දුරකථන දෙකක් ,සිම්පත් හතරක් පොලිස් බාරයට ගෙන ඇත.

හෝමාගම කොට්ටාව කැස්බෑව පිළියන්දල හා කහතුඩුව පොලිස් වසම්වල මෙම සොරකම් සිදු කර ඇතැයි පොලිසිය කියයි.

යතුරු පැදි විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඇති ස්ථාන සොයා ගොස් යතුරුපැදිය පරික්ෂා කරන මුවාවෙන් මෙම සොරකම් සියල්ල සිදුකර ඇතැයි පොලිසිය කියයි.

බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාශයේ පොලිස් සැරයන් 60161 වසන්ත නිලධාරියාට සැකකරු සම්බන්ධයෙන් ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගෙන තිබිණි.

එලෙස සොරාගත් යතුරු පැදි බොරලැස්ගමුව පිලියන්දල ආදී ප්‍රදේශ වල යතුරුපැදි විකුණන ස්ථාන වලට අඩු මුදලට විකුණා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

තවත් යතුරු පැදියක කොටස් සැකකරු පදිංචි පිළියන්දල මකුළුදූව නිවසේ සඟවා තිබියදී පොලිසිය මඟින් සොයාගෙන ඇත.

සැකකරු එම යතුරු පැදි විකුණා ඇත්තේ ඊට අදාළ ලිපි ලේඛන නැති වූ බව පවසමින් පොලිස් පැමිණිලි වාර්තාවක් ද ඉදිරිපත් කරමින් බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය වලට තදින් ඇබ්බැහි වූවෙකි.

Leave a Reply

Your email address will not be published.