අවුරුද්දට ගම්බිම් බලා යාමට බස් 7000ක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලා යාමට ලංගම හා පෞද්ගලික බස් රථ හත්දහසක් යොදවා තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසීය.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සම්බන්ධීකරණයෙන් බස් රථ තුන්දහසකුත්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ හාරදහසකුත් යොදවා තිබෙන බවත් හෙතෙම කීවේය.

මගී අවශ්‍යතාව මත යෙදවීම සඳහා තවත් පුද්ගලික බස් රථ තුන්සියයක ඇණියක් ද සූදානම් කර ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

කොළඹ බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පොළ හරහා ගම්බිම් බලා යන මගීන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් විශේෂ සැලැස්මක් ක්‍රියාත්මක බවත් ඒ අනුව බස් රථ ධාවන කාල වරින් වර වෙනස් කරමින් සේවා අවශ්‍යතාව මත බස් රථ යොදවන බවත් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේය.

මීට අමතරව කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළින් ගමන් අරඹන දුරගමන් සේවා බස් රථ ලබන 18 වනදා තෙක් කාල සටහන්වලට අනුව ධාවනය නොකරන බවත් මගී අවශ්‍යතාව මත බස් රථ තුන් හාරසියයක් අමතරව යොදවන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස පැවසීය.

මීට අමතරව ඉහළ ඉල්ලුමක් පවතින මාර්ග හඳුනාගනිමින් අමතර දුම්රිය ගමන්වාර 30 ක් ද යොදවා තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඩබ්ලිව්.එස්.පොල්වත්තගේ පැවසීය.

සාමාන්‍ය පරිදි ධාවනය වූ සියලු දුම්රියද ඒ ආකාරයෙන්ම ධාවනය වන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published.