රොස්වුඩ් වත්තේ සුද්දා අත්අඩංගුවට

හොරණ නගරයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට තරුණයන් පිරිසක් පැමිණි වෑන් රථයක් තුළ තිබූ රුපියල් ලක්ෂයකට අධික වටිනා ජංගම දුරකථනයක්, විදේශීය මුදල් නෝට්ටු සහ ශබ්දවාහිනී යන්ත්‍රයක් සොරාගත් “රොස්වුඩ් වත්තේ සුද්දා”  ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර එම සොරාගත් භාණ්ඩ විකිණීම සඳහා රැගෙන ගිය පුද්ගලයා සහ ඒවා මිලදී ගත් පුද්ගලයාද වන බව පොලීසිය පැවසීය.

ඉකුත් අප්‍රේල් 8 වනදා සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් හොරණ නගරයේ පැවති සංගීත දර්ශනය සහ සැණකෙළිය නැරඹීම සඳහා හොරණ  බැල්ලපිටිය ප්‍රදේශයේ තරුණයන් පිරිසක් පැමිණි වෑන් රථයක් මාර්ගයක නවතා තිබියදී ප්‍රධාන සැකකරු වන “රොස්වුඩ් වත්තේ සුද්දා” නමැත්තා වෑන් රථයේ පිටුපස දොරෙන් ඇතුළුවී වෑන් රථය තුළ භාණ්ඩ සහ විදෙස් මුදල් සොරකම් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ හොරණ මූලස්ථාන පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී සොරකම සම්බන්ධයෙන් සියලු තොරතුරු අනාවරණය කර ගත් බව පොලීසිය කීය.

සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව සොරාගත් ජංගම දුරකථනය සහ අනෙකුත් දේපළ රැගෙන ගොස් විකුණු පුද්ගලයා සහ ඒවා මිලදී ගත් පුද්ගලයාද අත්අඩංගුවට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published.