නීතිඥයාගේ සුරතලාට වස දුන් නීතිඥවරියට ඇප

නීතිඥවරයෙකුගේ නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයාට වසදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥවරියක් කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහෙස්ත්‍රාත් දමින්ද රාමනායක මහතා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරියේ මත්තේගොඩ, ඇල්විටිගල මාවත පදිංචි නීතිඥවරියකි.

අදාළ නීතිඥ මහතා ඉකුත් 12 වැනි දින කහතුඩුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය හමුවේ දැනුම් දුන්නේය.

පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ සවි කර තිබූ CCTV දර්ශන අනුව පොලිස් මූලස්ථානයේ සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවසේ ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණි මෝටර් රථය ලියාපදිංචි අංකය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සැකකාර නීතිඥවරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

එකොළොස් වැනි දින රාත්‍රියේ දී මෝටර් රථය පැමිණිලිකාර නීතිඥවරයාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව අසලට පැමිණ යම් දෙයක් වත්තට විසි කරන අයුරු හා විසි කළ දේ සුරතල් සුනඛයා අනුභව කරන අයුරුත් CCTV කැමරාවේ සටහන්ව තිබුණි.

හිටි හැටියේ රෝගාතුරව සිහිසුන් වූ සුනඛයා ව පසුව වෛද්‍යවරයෙකුට යොමු කිරීමෙන් අනතුරුව වස වර්ගයක් ශරීරගත වී ඇති බවට අනාවරණය වී තිබේ.

සුනඛයකුට වස ලබාදීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 412 වගන්ති යටතේ හා 486 සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු.

නඩුව එළඹෙන ජූලි 6 වෙනි දින නැවත කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.