රෝහලේ ප්‍රතිකාර ලැබූ තරුණයෙක්ව කපා කොටා ඝාතනය කරයි

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් පහරකෑමට ලක්වී රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකුව එම රෝහල තුළදීම නාඳුනන පුද්ගලයකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙම ඝාතනය සිදුවී ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේදීය.

ඝාතනයට ලක්වී ඇත්තේ මැදවච්චිය, මන්නාරම් හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකි.

පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් පහරකෑමට ලක්වී ඊයේ (27) සවස අදාළ තරුණයාව ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර තිබුණි.

ඔහුව අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුළත් කර තිබූ අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා එම ශික්ෂණ රෝහලේම මහාචාර්ය ඒකකයේ 66 ශල්‍ය වාට්ටුවට ඇතුළත් කර ඇත.

මෙම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) උදෑසන 05ට පමණ එම ඒකකයට ඇතුළුවූ නාඳුනන පුද්ගලයෙකු විසින් මෙම තරුණයාගේ ගෙල ප්‍රදේශයට සහ පාදයකට තියුණු ආයුධයකින් පහරදී පළාගොස් තිබුණි.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මකවූ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය විසින් එම රෝගියාව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ද එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්වී සිටි බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රෝහල් පොලීසිය සහ අනුරාධපුර පොලිස් මූලස්ථානය, මැදවච්චිය පොලීසිය විසින් සිදුකරන ලබයි.

Leave a Reply

Your email address will not be published.