සුඩානයේ ගැටුම් දරුණු අතට

සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් ආරම්භවී මේ වනවිට සති දෙකක කාලයක් ගතවී තිබේ.

අවස්ථා කිහිපයක දී සටන් විරාම නිවේදනය කළ ද එරට කාර්ටුම් අගනුවර ඇතුළු නගර කිහිපයක දියත් වන ගැටුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.

ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් මේ වනවිට 500 කට අධික පිරිසක් මිය ගොස් ඇති අතර තුවාල ලබා ඇති පිරිස 4,000 ට අධික බව වාර්තා වෙයි.

සෞදි රජයේ සහාය ඇතිවී විදේශ කටයුතු අමාත්‍යාංශය සුඩානයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමේ කටයුතු මේ වනවිට අඛණ්ඩව සිදුකරනු ලබයි.

ඒ අනුව පෝර්ට් සුඩාන් හී රැඳී සිටි දෙවන ශ්‍රී ලාංකික කණ්ඩායම සෞදි රජයට අයත් නෞකාවක් මගින් ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත ඊයේ රැගෙන එනු ලැබීය.

මුදාගත් දෙවන කණ්ඩායමට ශ්‍රී ලාංකිකයින් 6ක් ඇතුළත් බව සෞදියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

ජෙඩාහි ශ්‍රී ලංකා වැඩබලන කොන්සල් ජනරාල් විසින් මෙම පිරිස කිංග් ෆයිසාල් නාවික කඳවුර පරිශ්‍රයේදී භාරගෙන තිබේ.

මීට පෙරද ශ්‍රී ලාංකිකයින් 13දෙනෙකු සුඩානයේ සිට ජෙඩා වෙත රැගෙන විත් තිබුණි.

මේ අතර යුද ගැටුම් හේතුවෙන් කාර්ටුම් අගනුවර රෝහල් සියයට 60 කට වැඩි ප්‍රමාණයක් අකර්මණ්‍ය වීමෙන් හා වෛද්‍ය සැපයුම් නොමැති වීමෙන් බලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටී.

සුඩානයේ පවතින මෙම තීරණාත්මක තත්ත්වය හමුවේ එහි සිටින විදේශිකයින් මුදා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.

මේ අතර කාර්ටුම් හී සිරවී සිටින තුර්කි ජාතිකයින් මුදාගැනීමට පැමිණි තුර්කි ගුවන් හමුදාවට අයත් C130 වර්ගයේ ගුවන් යානයකට නීත්‍යනුකූල නොවන හමුදා කණ්ඩායම් හෙවත් රැපිඩ් සපෝර්ට් ෆෝසස් යනුවෙන් හඳුන්වන අවිගත් කණ්ඩායම් විසින් වෙඩි තබා තිබේ.

යානය ගොඩබැස්සවීමේදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි වැදීමෙන් ගුවන් යානයේ ඉන්ධන පද්ධතියට හානි සිදුවී ඇත.

මේ අතර මුදා ගැනීමේ මෙහෙයුම් සජිවීව වාර්තා කරමින් සිටි SKY NEWS වාර්තාකරුවෙකුට සුඩානයෙන් පිටව යන පිරිස අතර සිටින තම ඥාතියෙකු දැකීමෙන් සංවේදී වූ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

Leave a Reply

Your email address will not be published.