චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ජනාධිපතිට ආරාධනා

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය මැයි හයවනදා පැවැත්වෙන අතර, ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම ආරාධනා ලැයිස්තුවට ලන්ඩන් බෞද්ධ විහාරයේ විහාරාධිපති පූජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ නම ද ඇතුළත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සිදුකිරීම සඳහා මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කරමින් පවතින අතර, විදේශ රටවල ආගමික නියෝජිතයින්, රජ පවුල්වල නියෝජිතයින්, ජනාධිපතිවරුන්, ජනප්‍රිය පුද්ගලයින් ඇතුලු 2,000 කට ආසන්න පිරිසක් මෙම රාජාභිෂේකය සඳහා එක්වීමට නියමිතව ඇති බවයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කළේ.

සමාජසේවා කටයුතුවල නිරත සංවිධානවල නියෝජිතයින් 850 දෙනෙකුට පමණ මෙම රාජාභිෂේකය සඳහා එක්වීමට අවස්ථාව සළසා තිබීම විශේෂත්වයක් වන අතර,තුන්වන චාල්ස් රජුගේ රාජභිෂේකය වෙනුවෙන් මව් රැජිණ පැළඳි ශාන්ත එඩ්වඩ් කිරුළ මේ වනවිටත් නවීකරණය කර ඇති බව බකිංහැම් මාළිගාව නිවේදනය කළා. ඒ, රාජකීය සම්ප්‍රදායට අනුවයි.

බ්‍රිතාන්‍ය රාජකීයත්වයට පත්වන නව රජු හෝ රැජිණ රාජාභිෂේකය සිදුකරන අවස්ථාවේ මෙම ඓතිහාසික කිරුළ පළඳවනු ලබනවා.

Leave a Reply

Your email address will not be published.