III වන චාල්ස් රජු ඔටුනු පළඳී

දශක 7ක කාලයක් බ්‍රිතාන්‍යය ඇතුළු යටත්විජිත රාජ්‍යයන් පාලනය කළ දෙවැනි එලිසබෙත් රැජිනගේ අභාවයත් සමග තෙවන චාල්ස් නමින් රාජ්‍යත්වයට පත් චාල්ස් රජුගේ රාජාභිෂේකය අද (06) පැවැත් වුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී බ්‍රිතාන්‍යයේ තෙවන චාල්ස් රජු නිල වශයෙන් අද ඔටුනු පැළඳීය.

ඒ වසර 70 කට පසු බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු පළමු රාජාභිෂේකය ලෙස ඉතිහාසයට එක් වෙමිනි.

මේ අතර කැමිලා බිසව එක්සත් රාජධානියේ රැජින ලෙස කිරුළු පැළඳුවාය.

1953 වසරේ පැවැති දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජාභිෂේකයට සාපේක්ෂව වඩාත් සරල සහ කෙටි උත්සවයක් ලෙස මෙවර රාජාභිෂේකය සැලසුම් කර තිබුණි.

වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට පුරෝකතනය කර තිබුණ ද දෙස් විදෙස් වැසියන් පෙර දින සිටම ද මෝල් මාර්ගය දෙපස රැස්වී සිටි අන්දම විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

III චාල්ස් රජුගේ රාජාභිෂේක සැමරුම් විධිමත්ව ආරම්භ කෙරුණේ බකිංහැම් මාළිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ වෙත ගමන් කරනා පෙරහැරකිනි.

එඩිම්බරෝ හි ආදිපාද පිලිප් කුමරුට සහ බ්‍රිතාන්‍යයේ එවක කිරුළ හිමි එලිසබත් කුමරියට දාව එඩිම්බරෝ හි චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු උපත ලැබුවේ 1948 වසරේ නොවැම්බර් මස 14වැනිදාය.

ඒ එංගලන්තයේ ලන්ඩන් හි බකිංහැම් මන්දිරයේ දීය.

එවක බ්‍රිතාන්‍යයේ රාජකීයත්වය දැරුවේ ඔහුගේ සීයා එනම් එලිසබෙත් රැජිනගේ පියා වන හයවැනි ජෝර්ජ් රජු ය.

1952 වසරේ හයවැනි ජෝර්ජ් රජුගේ අභාවයත් සමග එලිසබෙත් කුමරිය දෙවන එලිසබෙත් නමින් රාජ්‍යත්වයට පත්වීමත් සමග චාල්ස් කුමරු ඔටුන්න හිමි කුමරු බවට පත් විය.

1958 දී චාල්ස් කුමරු වේල්සයේ කුමරු ලෙසින් නම් ලද අතර ඔහු කිරුළු දැරුවේ 1969 වසරේ දී ය.

ඒ වනවිට ඔහු 21 වන වියෙහි පසු විය.

එංගලන්තයේ චීම් සහ ගෝඩන්ස්ටන් පාසල්වලින් අධ්‍යාපනය ලද චාල්ස් කුමරු සිය කලා උපාධිය හිමි කරගත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනි.

අනතුරුව චාල්ස් කුමරු රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් සහ නාවික හමුදාව වෙනුවෙන් වසර 5ක කාලයක් සිය සේවය ලබා දී ඇත.

1976 වසරේ දී චාල්ස් කුමරු “කුමරුගේ අරමුදල” නමින් පදනමක් පිහිටවූයේ එංගලන්තයේ තරුණ ප්‍රජාව වෙනුවෙනි.

රැකියා විරහිත, නිවාස අහිමි මෙන්ම මානසික රෝගවලින් පීඩාවිඳින තරුණයින්ට සහායවීම මෙම පදනමේ අරමුණ විය.

චාල්ස් කුමරු ඩයනා කුමරිය සමග විවාහ දිවියට එළැඹුණේ 1981 වසරේ ජූලි මස 29 වන දිනය.

ශාන්ත පෝල් දේවස්ථානයේ පැවති විවාහ මංගල්‍ය පෙරහැර නැරඹීමට ලක්ෂ 5කට අධික පිරිසක් රැස්වී සිට ඇති අතර ලක්ෂ 8කට ආසන්න පිරිසක් විවාහ මංගල්‍යය සජීවීව නරඹා ඇති බව සඳහන් වේ.

ලොවම අවධානයට ලක්වූ මෙම රාජකීය යුවළගේ පළමු දරුවා ලෙස විලියම් කුමරු 1982දීත් හැරී කුමරු 1984දීත් උපත ලැබීය. 

කෙසේ වෙතත්, චාල්ස් සහ ඩයනාගේ අනියම් සබඳතා ගැන බකිංහැම් මාළිගයෙන් පිටතට ආ කට කතා යථාර්ථයක් බවට පත්වෙද්දී මොවුන්ගේ විවාහය දෙදරා ගියේය.

ඒ අනුව ඔවුන් දෙපළ නීත්‍යානුකූලව වෙන්ව යන්නේ, 1996 වසරේ දී ය.

දික්කසාදයෙන් වසරකට පසුව ඩයනා කුමරිය රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වන අතර 2005 වසරේ චාල්ස් කුමරු කැමිලා පාකර් සමග විවාහ දිවියට එළැඹුණි.

2022 වසරේ සිදුවූ දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවයත් සමඟ නව රජු ලෙස  එවක 73වන වියේ පසු වූ චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු නමින් පත් විය.

ඒ රජ්‍යත්වයට පත් වයස්ගතම බ්‍රිතාන්‍ය රජු බවට පත් වෙමිනි.

Leave a Reply

Your email address will not be published.