දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ ඔක්සිජන් සොරකම හසුවෙයි

දීර්ඝ කාලයක සිට පොළොන්නරුව මහ රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර සොරකම් කර අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක නිරතවු රෝහල් සේවකයෙකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අද (06) පෙරවරුවේ සැකකරුවන් 6 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.

2020 වසරේ සිට අදාළ සොරකම සිදුවී ඇති අතර ඔවුන් විසින් සොරකම් කර ඇති ඔක්සිජන් සිලින්ඩර සංඛ්‍යාව 210ක් බව සඳහන්ය.

සොරාගත් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 25,000ත් 40,000ත් අතර මුදලකට විවිධ පුද්ගලයින් වෙත අලෙවි කර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පොළොන්නරුව අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්‍බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published.