වෙසක් බලා රෝහලටත් යයි

වෙසක් සිරි නරඹා නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත්  කුඩා ලොරි රථයක් අද අළුයම 5.45 ට පානදුර වලාන ප්‍රදේශයේදී පෙරළී යාමෙන් කුඩා දරුවන් තිදෙනකු ඇතුළු දස දෙනකු තුවාල ලබා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි.

තුවාල ලැබූවන් අතර සිව් දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

කොළඹ වෙසක් සිරි නරඹා මතුගම බලා යාම සඳහා පානදුර දෙසට පැමිණෙමින් සිටි  ලොරි රථය  අඩි තිහක් පමණ උස  විදුලි කණුවක සහ යකඩ වැටවල් දෙකක ගැටි පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර වන අවස්ථාවේදී කුඩා ලොරියේ පුද්ගලයන් 17 දෙනකු ගමන් කර ඇතැයි පොලිසිය කියයි.

සිදු වූ අනතුරක් සමගම පානදුර වලාන ප්‍රදේශයේ විදුලිය විසන්ධි වී ඇත.

අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන් මතුගම කෙලින්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published.