සතියක දුම්රිය වර්ජනයක් ගැන අනතුරු ඇඟවීමක්

අමාත්‍යවරයා සමඟ අඟහරුවාදා පැවැත්වෙන සාකච්ඡාවේ දී නිසි විසඳුමක් නොලැබුණහොත් සතියක වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

අද (11) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති, සුමේධ සෝමරත්න මහතා වැඩිදුරටත් පවසා සිටියේ එළැඹෙන අඟහරුවාදා දින අමාත්‍යවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී යහපත් පිළිතුරක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවය.

“සංකේත වැඩවර්ජනය ඉතා සාර්ථකව ඊයේ රාත්‍රී 12ට අවසන් කරා. දැන්වත් අමාත්‍යාංශ ලේකම්වරයා මැදිහත් වෙලා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ට උපදෙස් දීලා කටයුතු කරයි කියන විශ්වාසය තියෙනවා. අමාත්‍යවරයා අපිට නිල සාකච්ඡාවක් ලබාදීලා තියෙනවා අඟහරුවාදා දිනයේ දී. විසඳුම් නොලැබුණොත් ඕනෑම මොහොතක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න නැවත අපි සුදානම්.”

ප්‍රශ්නය – ඔබතුමන්ලට සාධනීය පිළිතුරක් නොලැබුණොත් ඉදිරි සතිය වැඩවර්ජන සතියක් වේවි කියල ද හිතන්න වෙන්නේ ?

“අපි විශ්වාස කරන්නේ, ඒ තැනට අපිට තල්ලු නොකරයි කියලා. සතියක වැඩවර්ජනය දුම්රිය දෙපාර්තමේන්තුවේ අනාගතය වෙනුවෙන් නම් අපේ සාමාජිකයාගේ අනාගතය වෙනුවෙන් නම් අපි ඒ සතිය ඒ විදියට ගත කරන්න පැකිලෙන්නේ නෑ.”

දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයෙකුට එරෙහිව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර තිබූ සංකේත වැඩවර්ජනය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරුණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වානිජ අංශයේ නියෝජ්‍ය සාමානාධිකාරි ධුරයට නුසුදුසු නිලධාරියෙකු පත්කළ බවට චෝදනා කරමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙරේදා මධ්‍යම රාත්‍රි 12ට සංකේත වර්ජනයක් ආරම්භ කළේය.

මේ හේතුවෙන් කාර්යාල දුම්රිය 10ක්, දුරගමන් දුම්රිය 5ක් සහ රාත්‍රී තැපැල් දුම්රිය 7ක් අවලංගු කෙරුණි.

සංකේත වර්ජනයෙන් දුම්රිය, මගීන්ගෙන් පිරී ගිය අතර, ඇතැම් ස්ථානවලදී ප්‍රවේශ පත්‍ර පවා නිකුත් කෙරුණේ නැත.

දුම්රිය ස්ථාන වෙත පැමිණි ජනතාව මෙන්ම විදේශිකයින් ද වැඩවර්ජනය හේතුවෙන් පීඩාවට පත්වුණි.

Leave a Reply

Your email address will not be published.