වැඩිම ඩෙංගු මරණ බස්නාහිරින් – සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවීමක්

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමග මේ වනවිට ඩෙංගු මරණ සංඛ්‍යාව ද ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පවසා සිටියේ, එක්වර රෝගීන් වැඩි වුවහොත‍් එය පාලනය කිරීම අසීරු තත්ත්වයකට පත්වෙන බවය‍.

“බස්නාහිර පළාතෙන් විතරක් මරණ 7ක් වාර්තා වෙනවා මේ 22න්. ඒ අතරින් කොළඹ 2ක්, ගම්පහ 4ක්, කළුතර 1ක් වශයෙන්. මේකෙන් පේනවා රෝගීන් වැඩිවෙන්න වැඩිවෙන්න මරණ ප්‍රමාණය වැඩිවෙනවා කියන එක. ඊට අමතරව විශේෂයෙන්ම කියන්න ඕනේ මහනුවර, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල යන දිස්ත්‍රික්කවලිනුත් යම් සැලකිය යුතු ප්‍රමාණයේ රෝගීන්ගේ වර්ධනයක් තියෙනවා. රෝගීන් අනපේක්ෂිත ආකාරයට වැඩිවීම වළක්වා ගත යුතුයි. ඒක තමා අපේ තියෙන ප්‍රධාන කාර්ය. ඒ අනුව සංකූලතා ඇති රෝගීන් සමූහයක් වාර්තා වුණොත් රෝහල් වෙත ඒක අපිට භයානක ප්‍රතිඵල ඇති විය හැකි තත්ත්වයක්. එය අපි වළක්වා ගත යුතුයි.”

පවතින වර්ෂා තත්ත්වය සමග දිනෙන් දින සිදුවන ඩෙංගු ව්‍යාප්තිය සමග වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් තිබේ.

මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිට අද උදෑසන දක්වා කාලය තුළ මෙරටින් ජාතික ඩෙංගු මර්දන ඒකකයට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 33,742 ක් ලෙස සඳහන්ය.

ඉන් කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,017 දෙනෙක්ද , ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,602 දෙනෙක්ද , කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,984 දෙනෙක්ද වාර්තා වී තිබේ.

ඩෙංගු වැළඳීමෙන් පුද්ගලයින් 22 දෙනෙක් මියගොස් ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකයට තහවුරු කළේය.

ඉන් මරණ 7 ක්ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

මේ අතර ඩෙංගු අවදානම් කලාප ලෙස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 59ක් නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා,

“ඩෙංගු මර්දන ඒකකය විදියට දිවයින පුරා විසිරිලා තියෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල අපි ඩෙංලු අවදානම් කලාප සහ අවදානම් අඩු කලාප වශයෙන් වර්ගීකරණයක් කළා. මෙහිදී ඩෙංගු අවදානම් කලාප සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 59ක් මේ වනවිට අපි නම් කරලා තියෙනවා. මෙලෙස නම් කිරීමෙන් මේ ආශ්‍රිත ප්‍රදේශවල ඩෙංගු මර්දන හා වැළක්වීමේ ක්‍රියාකාරකම් යාවත්කාලීන කරලා කාර්යාක්ෂමව මේ කටයුත්ත කිරීම.”

මෙවැනි පසුබිමක ඩෙංගු මැඬලීම සඳහා දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කොළඹ නගරයේ ස්ථාන රැසක අද ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී ඩෙංගු මදුරු කීටයන් සිටි ගොඩනැගිල්ලක් ද සොයාගැනුණි.

Leave a Reply

Your email address will not be published.