චෙන්නායි ගොඩදැමූ ධෝනි

මෙවර IPL තරගාවලියේ සුපිරි තාරකාව බවට පත්ව ඇත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නියමුවා වන මහේන්ද්‍ර සිං ධෝනි බව ක්‍රිකට් විචාරක මතයයි.

තරගාවලිය ආරම්භයේ සිටම චෙන්නායි කණ්ඩායමේ ප්‍රේක්ෂකයින්ගෙන් IPL තරග පැවති ක්‍රීඩාංගණ පිරී ඉතිරී ගියේය.

ඒ ඔවුන් එදාමෙදාතුර දුටු ඉන්දියාවෙන් බිහිවූ සුපිරිම නායකයෙක් මෙන්ම සුපිරි ක්‍රිකට් තරුව ඔවුන්ගේ වචනයෙන් “තල” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන  ධෝනි, ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස එක්වන අවසන් තරගාවලිය සියැසින් දුටු සාක්ෂිකරුවන් වීමටය.

ඒ අනුව ප්‍රේක්ෂක හරසර මැද ඊයේ ගුජරාට් කණ්ඩායමට එරෙහිව තිබූ තරගය ජයගෙන අවසන් මහා තරගයට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ධෝනි ප්‍රමුඛ චෙන්නායි කණ්ඩායම මේ වනවිට සමත්ව ඇත.

එහිදී 16 වන පන්දුවාරයේදී ධෝනි ගත් බරපතළ මෙන්ම ක්‍රිකට් ලෝකයේ විශාල කතාබහක් ඇතිවී තිබෙන තීරණයක් වෙත මේ වනවිට ලොවපුරා සමාජ මාධ්‍ය ජාලා වල ප්‍රමුඛතම මාතෘකාවක් වී තිබේ.

එම අවස්ථාව වනවිට ශ්‍රී ලංකා ක්‍රීඩක, මේ වනවිට චෙන්නායි කණ්ඩායමේ ප්‍රධාන කඩුලු දඩයක්කරු වන මතීෂ පතිරණ 16වන පන්දුවාරය යැවීමට සූදානම්ව සිටියේය.

කෙසේ වෙතත් තරග නීතිරීතිවලට අනුව ඔහුට එම අවස්ථාවේ පන්දු යැවීමට නොහැකි බව විනිසුරුවරුන් විසින් ධෝනි වෙත දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව ධෝණි මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විනිසුරුවරු දෙදෙනා ආසන්නයට පැමිණියේය.

එහිදී ඔවුන් පවසා ඇත්තේ මතීෂ කෙටි වේලාවකට පිටියෙන් ඉවත්ව ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු පිටිය තුළ රැඳී සිට ඇති බවත් පන්දුවාරයක් යැවීමට පෙර නියමිත කාලය ඔහු ක්‍රීඩා පිටිය තුළ ගතකර නොමැති බවත්ය.

විස්සයි විස්ස ක්‍රිකට් නීතිරීතිවලට අනුව එය එසේ විය යුතුය.

එම අවස්ථාවේ ධෝනි බරපතළ අර්බුදයකට මුහුණ දුන්නේය.

නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නිම කිරීමට වෙනත් ක්‍රීඩකයෙකුට පන්දු යැවීමට අවස්ථාව ලබාදීම හෝ මතීෂට පන්දු යැවීමට අවස්ථාව ලබාදීම සඳහා අවශ්‍ය කාලය සම්පූර්ණ වනතුරු කාලය ගතකිරීම ගැන ධෝනිට තීරණයක් ගතයුතුව තිබුණි.

19වන පන්දුවාරය අවසන් වනවිට ඉනිමේ නියමිත කාලයට පන්දුවාර සංඛ්‍යාව යොමුකිරීමට නොහැකිවුවහොත් තරග නීතිරීතිවලට අනුව යාර 30 සීමාවෙන් පිටත රැඳවිය හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක් දක්වා සීමා වෙයි.

එය මෙවැනි තීරණාත්මක තරගයක පන්දු රකින කණ්ඩායමට එල්ලවිය හැකි ප්‍රබල අභියෝගාත්මක අවස්ථාවකි.

එසේම කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වූ මතීෂට 16 වන පන්දුවාරය යැවීමට ලබා නොදුනහොත් මෙම තීරණාත්මක තරගයේදී ඔහුට එක් පන්දුවාරයක් යැවීමට නොහැකිවීමේ අභියෝගයද ධෝනි හමුවේ පැවතුණි.

මෙම අභියෝගාත්මක අවස්ථාවේ නැවතත් මේ ආධුනිකයා කෙරෙහි විශ්වාසය තැබූ ක්‍රිකට් ලොව පෙරළිකාර නායකයා ධෝනි තීරණය කරනු ලබන්නේ අවශ්‍ය කාලය ගතකර 16 වන පන්දුවාරය යැවීමට මතීෂටම භාරදීමටය.

ඊයේ තරගයේ දුර්වල පන්දු කිහිපයක් මතීෂගෙන් යොමුවුවද මේ ප්‍රවීණයා තරගාවලිය ආරම්භයේ පටන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක මතීෂද තම උපරිමය උපරිමයෙන් ඊයේ දිනයේ ද කළ බවට අපට ද සැකයක් නොමැත.

කෙසේ වෙතත් අවසානයේ එම තීරණයත් සමඟ මතීෂට පන්දුවාර 4ක් නිමකිරීමට අවස්ථාව හිමිවූ අතර අවසානයේ චෙන්නායි කණ්ඩායම සෘජුවම අවසන් මහා තරගය වෙත රැගෙන යාමටද හැකියාව උදාවිය.

ඉතින් විචාරක මතය වන්නේ ඒ නායකයා ධෝනි නොවුණා නම් ඊයේ තරගයේ මෙම තීර්ණය උඩුයටිකුරු වනු ඇති බවය

Leave a Reply

Your email address will not be published.