කරට කර තරගයකින් පසු යුපුන් ට හිමිවූ තැන

ඉතාලියේ පැවති 12 වැනි සවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වුණි.

යුපුන් මෙවර තරග වාරයේදී මීටර 100 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.

එහි පළමු මූලික තරගය තත්පර 10.04කින් නිම කරමින් යුපුන් දෙවන ස්ථානය හිමිකර ගත්තේ අවසන් මහා තරගයේ සිය ස්ථානය තහවුරු කරගනිමිනි.

ඊයේ (24) රාත්‍රියේම පැවති පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට යුපුන් අබේකෝන් සමගින් රීස් ප්‍රෙස්කෝඩ්, බෙන්ජමින් අසමාටි, ෆිලිපෝ තොර්තු ඇතුළු දක්ෂ ධාවකයින් එක්ව සිටියේය.

මංතීරු අංක දෙකේ ධාවනයේ යෙදුනු යුපුන් තරගයේ මීටර 90ක් පමණ රීස් ප්‍රෙස්කෝඩ් සමග කරට කර ධාවනයේ යෙදුණි.

කෙසේ වෙතත් යුපුන් ඉසව්ව නිමකළේ දෙවැන්නා ලෙසය.

යුපුන්ගේ තරග නිමිකාලය තත්පර 10.01ක් ලෙස දැක්වුණි.

ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ තත්පර 9.94කින් ඉසව්ව නිමකළ මහා බ්‍රිතාන්‍යයේ රීස් ප්‍රෙස්කෝඩ් විසිනි.

තුන්වන ස්ථානය අයිවරි කොස්ට් රාජ්‍යෙය් ආතර් සිස් හිමිකර ගත්තේය.

Leave a Reply

Your email address will not be published.