ගව වෛරසය රටපුරා පැතිරී ගිය හැටි එළියට

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන ‘සමේ ගැටිති වෛරස් රෝගය’ මේ වනවිට දිවයිනේ පළාත් රැසකටම ව්‍යාප්ත වී ඇතැයි වාර්තා වෙයි.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එසේම මෙම තත්ත්වය යටතේ වෛරසය ආසාදිත වූ රෝග ලක්ෂණ පෙන්නුම් කරන ගවයන් මස් පිණිස ඝාතනය කිරීම සුදුසු නොවන බව වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පශු වෛද්‍ය ජේ.ඒ.එස්.පෙරේරා මහතා පවසයි.

2019 වසරේ සිට මෙරට ගවයින් ආශ්‍රිතව නව රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හඳුනා ගෙන තිබේ.

ගවයන්ගේ සම ආශ්‍රිතව ඇතිවන සමේ ගැටිති රෝගය හෙවත් ලම්පි ස්කීන් ඩිසීසස් (Lumpy Skin diseases) යන නමින් තමයි මෙය හඳුන්වයි.

මෙම රෝගය ඉන්දියාව හරහා උතුරු පළාතටත් ඉන් පසුව උතුරු මැද පළාත හරහා වයඹ පළාතටත් ව්‍යාප්ත වී ඇති බවට දැනට සැකපළ කරයි.

වෛරස් රෝගයක් වන මෙහි ප්‍රධානතම රෝග ලක්ෂණය වෙන්නේ ගවයින්ගේ සමෙහි ඇතිවන තුවාලයි.

ඊට අමතරව ගවයාට අධික උණ තත්ත්වයක් ඇති වීමත්, කිරි නිෂ්පාදනය අඩාළ වීමත් දක්නට ලැබෙයි.

පශු වෛද්‍යවරුන්ට අනුව මෙම රෝගය ව්‍යාප්ත වන්නේ කිනිතුල්ලන්,මැස්සන් සහ මදුරුවන් යන වාහකයින් මගින් බවය.

ඊට අමතරව සෘජු ස්පර්ශයෙන්ද සමේ ගැටිති රෝගය ව්‍යාප්ත වන බව සඳහන්ය.

අනුරාධපුර නාච්චාදූව ප්‍රදේශයේ ගවගාල් ආශ්‍රිතව මෙම රෝගය වේගයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් වෛරසයට නිරාවරණය වූ ගවයින් වසා ගැටිති පුපුරා යාම නිසා පීඩා විඳන ආකාරය දක්නට ලැබුණි.

මීට අමතරව වයඹ පළාතේද ගවයින් දෙදහසකට වැඩි සංඛ්‍යාවකට සමේ ගැටිති රෝගය වැළඳී ඇතැයි වාර්තාවෙයි.

මේ හේතුවෙන් වයඹ පළාත තුළට සහ ඉන් පිටතට ගවයන් ප්‍රවාහනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට වයඹ පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.