නතාෂා සහ බෘෘනෝ අද අධිකරණයට… ඔවුන්ට එරෙහි උද්ඝෝෂණයක් අධිකරණය ඉදිරිපිට

බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් නිකුත් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියක වන ජයනි නතාෂා එදිරිසූරිය සහ ඇයට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් බෲනෝ දිවාකර අද (07) යලි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

නතාෂා එදිරිසූරිය පසුගිය මස 27 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපලට පැමිණි අවස්ථාවේදීයි.

පසුගිය අප්‍රේල් 01 වැනිදා මෝඩාභිමානය නමින් පැවති වැඩසටහනකට දී ඇය බෞද්ධ දර්ශනයට සහ සංස්කෘතියට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.

එය පසුගිය මැයි මස 24 වැනිදා යූ ටියුබ් ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වුණා.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර අතර ඒ අනුවයි ඇය විදෙස් ගතවීමට පැමිණි අවස්ථාවේ දී කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ.

පසුව ඇය පසුගිය 01 වැනිදා කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

එමෙන්ම ඇයගේ මෙම ප්‍රකාශය යූ ටියුබ් නාලිකාවක් හරහා ප්‍රචාරය කිරීමට අනුබල දීමේ චෝදනාව මත බෲනෝ දිවාකර පසුගිය 31 වැනිදා අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අත්අඩංගුවට ගත් අතර ඔහුද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද (07) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර නතාෂාට සහ බෘෘනෝට ඇප ලබාදීමට එරෙහිව අධිකරණය ඉදිරිපිට උද්ගෝෂණයක් පැවැත්වෙන බවද මේ වන විට අපට දැනගන්නට ලැබුණා. පහතින් පළ වන්නේ එහි ඡායාරූප කිහිපයකි.

Leave a Reply

Your email address will not be published.