රත්මලානේ වෙඩිතැබීම ගැන පොලීසියෙන් අනාවරණයක්

රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එහිදී රත්මලාන දුම්රියපළ අසල පිහිටි මස් වෙළෙඳසැලක හිමිකරුවෙකු ඝාතනයට ලක්වුණි.

ඔහු 40 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.

කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකර ඇත් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා,

“මෙතෙක් අනාවරණය වෙලා නෑ වෙඩිතැබීමට ආපු අය කවුද කියලා. ඒ වගේම මේ ඝාතනයට ලක්වු පුද්ගලයා මෙලෙස ඝාතනය කළේ ඇයි කියලත් මෙතෙක් අනාවරණය වෙලා නෑ. මේ සම්බන්ධව සොයා බැලීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදුකරනු ලබනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙම වර්ෂය තුළ පමණක් වෙඩිතැබීමේ සිදුවීම් 60ක් වාර්තා වී ඇති බවය.

“මේ වනවිට වෙඩිතැබීමේ සිදුවීම් 60ක් පමණ සිද්ධවෙලා තියෙනවා. එයින් පුද්ගලයින් 36ක් පමණ මියගිහින් තියෙනවා. නමුත් මෙම සංඛ්‍යා ලේඛන වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම 28 දෙනෙක් තුවාල ලබලා තියෙනවා.”

Leave a Reply

Your email address will not be published.