ගාල්ලේ රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවයි

අධිකරණ වල විභාග වන නඩු කටයුතු සඳහා ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් ඉන් පිටතට ගෙනයාම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයා පවසා ඇත්තේ ඒ අනුව් සති දෙකක කාලයක් සඳහන් මෙලෙස රැඳවියන් පිටතට ගෙනයාම අත්හිටුවා ඇති බවය.

රෝගී තත්ත්වයක් හේතුවෙන් එම බන්ධනාගාරයේ රැඳවියන් මියයාම සහ අසනීප තත්ත්වයට පත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර බන්ධනාගාර අධිකාරීවරයා වැඩිදුරටත් පවසන්නේ අත්‍යවශ්‍ය අවස්ථාවන්හිදී සූම් තාක්ෂණය ඔස්සේ රැඳවියන් නඩු කටයුතු සඳහා ඉදිරිපත් කරන බවය.

මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යාම හේතුවෙන් එහි රැඳවියන් මරණයට සහ අසනීප තත්ත්වයට පත්වන්නට ඇති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ගාල්ල බන්ධනාගාරය තුළ පැතිර යන උණ රෝග තත්ත්වයක් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 9 දෙනෙකු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.

සිද්ධියෙන් මියගිය රැඳවියන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (21) දිනයේ සිදුකෙරුණු අතර එහිදී වෛද්‍යවරුන් විසින් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

ඒ අනුව ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති බව සඳහන්ය.

මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව මාරාන්තික බැක්ටීරියාවක් වන අතර මත්ද්‍රව්‍ය භාවිතයට ගැනීමෙන් සෞඛ්‍ය තත්ත්වය දුර්වල වූ පුද්ගලයින්ට මෙය දැඩිව බලපාන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.