පාස්කු ප්‍රහාර සිදුවීම ගැන ජනපතිගෙන් තීරණ රැසක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාළිකාව සිය වාර්තා වැඩසටහන මඟින් එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ඒ සඳහා පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

එමෙන්ම එම ප්‍රහාරය පිටුපස මහ මොළකරුවෙකු සිටින බවට හිටපු නීතිපතිවරයෙකු විසින් එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීමට ද රජය අදහස් කරන බව සඳහන්ය.

මේ අතර දැනට ක්‍රියාත්මක විමර්ශන දෙකෙහි කටයුතු සම්පූර්ණයෙන් අවසන් වූ පසුව ඒ පිළිබඳ අවසන් තීරණයකට එළැඹීමට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.