සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ ගැටළු රැසක්

2019 වසරේ ආරම්භ කරන ලද ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් පහකට අයත් සිසුන් 480ක් අධ්‍යයන කටයුතුවල නිරත වේ.
එනමුත් පරිපාලනයේ ඇති දුර්වලතා සහ රජයේ ඇති නොසැලකිලිමත්භාවය හේතුවෙන් සිසුන්ට අපහසුතා හා ගැටළු රාශියකට මුහුණ පෑමට සිදුව තිබේ.
මෙහි ප්‍රධානතම ගැටලුව නම් පීඨය අරඹා වසර 05 ක් ගත වුවත් තවමත් පීඨය සතුව මහාචාර්ය ඒකක ගොඩනැගිල්ලක් නොමැති වීමයි. සවුදි ණය ආධාර ක්‍රමයක් යටතේ ඉදි කිරීමට යෝජනා වී ඇති මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම 2022 වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කිරීමට නියමිතව තිබුණද මේ වන විට ඒ සදහා මුල්ගල වත් තබා නොතිබීම කණගාටුවට කරුණකි. අවසන් වසර අධ්‍යන කටයුතු සඳහා මහාචාර්ය ඒකකයක් අත්‍යාවශ්‍ය වන නමුත් නිසියාකාර මහාචාර්ය ඒකකයක් නොමැති වීම හේතුකොටගෙන පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම 2023 සැප්තැම්බර් මස 11 වන දින සිට ඔවුන්ගේ අවසන් වසර අධ්‍යන කටයුතු තාවකාලිකව රත්නපුර ශික්ෂණ රෝහලේ වාට්ටු සංකීර්ණ තුළම ආරම්භ කොට ඇත. මෙම තාවකාලික විසඳුමෙහි ප්‍රායෝගික ගැටලු රාශියක් පවතී. එබැවින් ඒ තුළින් සබරගමු වෛද්‍ය පීඨ සිසුන්ට ගුණාත්මක වෛද්‍ය අධ්‍යයාපනයක් ලැබේදැයි විශාල සැකයක් සිසුන් තුළ මේ වන විට මතුව තිබේ.
එමෙන්ම වෛද්‍ය පීඨයේ සමාන්තර සායනික ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු 2022 ජූලි මාසයේ අවසන් කිරීමට නියමිතව තිබුණ ද අද වන විටත් ඉදිකිරීම් අවසන් කර නොමැත. අද වන විට එහි ඉදිකිරීම් කටයුතු 99% පමණ නිම වී තිබුණ ද ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගම වන MAGA Engineering PVT LTD හට රජයෙන් අය වීමට නියමිත රුපියල් මිලියන 750 කට අධික මුදල නොගෙවීම හේතුවෙන් ඉදිකිරීම් සමාගම විසින් ගොඩනැගිල්ල නිල වශයෙන් භාර නොදීමේ තත්ත්වයක් පවතී. ගොඩනැගිල්ලේ කොටසක් සිසු අයිතියට මෑත කාලයේදී ලබාදී තිබුණද අවශ්‍ය තරම් භෞතික සම්පත් නොමැතිවීම හේතුවෙන් සිසුන්ට දැඩි අසීරුතා වලට මුහුණ දීමට සිදුව තිබේ.
තවද ආචාර්යවරුන් ගේ ඇති දැඩි හිඟයද සබරගමුව වෛද්‍ය පීඨ සිසුන්ගේ අධ්‍යයන කටයුතු කෙරෙහි ඉතා අහිතකර ලෙස බලපා තිබේ. ඇතැම් පීඨ දෙපාර්තමේන්තු සඳහා එක් කථිකාචාර්යවරයකු පමණක් සිටින පසුබිමක වෛද්‍ය සිසුන්ට ඔවුන්ගේ පූර්ව සායනික හා සමාන්තර සායනික අධ්‍යයන කටයුතු අතිශය දුෂ්කරතා රැසක් මධ්‍යයේ කරගෙන යාමට සිදුව ඇත.

Leave a Reply

Your email address will not be published.