ගණේමුල්ල සංජීව ලංකාවට ආපු හේතුව හෙළිවෙයි

කටුනායක ගුවන්තොටුපලේ දී පසුගියදා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර නොහොත් ගණේමුල්ලේ සංජීව ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා අවසර ලබාදුනී.

කෙසේවෙතත් ගනේමුල්ල සංජීව ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතව අපරාධ රැසක් සිදුකර තිබීම නිසා විමර්ශනවල පහසුව උදෙසා ඔහු වීරඟුල පොලිසියට ඊයේ (16) රැගෙන ආවේ එහි රඳවාගෙන ප්‍රශ්න කිරීමටය.

මේ හේතුවෙන් වීරඟුල පොලීසිය අවට ප්‍රදේශයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය සමයේ අපරාධ සඳහා භාවිත කළ ටී56 වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට පොලීසිය සමත් විය.

මේ අනුව, ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසක සිදුවූ ඝාතනවලට මෙම ගිනිඅවිය භාවිත කර ඇති බවටත් ඔහුට අයත් තවත් ගිනිඅවි සඟවා ඇති බවටත් පොලීසිය සැක පළ කරති.

මේ අතර ගනේමුල්ල සංජීව මෙරටට පැමිණීමට හේතුව මේ වනවිට පොලීසිය අනාවරණ කරගෙන ඇත.

2021 වසරේදී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් ඇති සංජීව පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැනින් දෝහා කටාර් වෙත පිටත්ව ගොස් ඇති බව පැවසේ.

නමුත් ඔහු ඒ සඳහා භාවිත කර තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් බවට අනාවරණ වීමෙන් පසු ඔහු නැවතත් දෝහා කටාර් සිට නේපාලයේ කත්මන්ඩු දක්වාත්, එතැනින් යළි ශ්‍රී ලංකාව දක්වාත් පිටුවහල් කර ඇති බව පොලීසියට තහවී ඇත.

ඔහුගේ ව්‍යාජ ගමන් බලපත්‍රයට අනුව ඔහු ලංකාවේ සිට ඉන්දියාවටත්, පසුව නේපාලයටත් පැමිණි බවට සටහන් වී තිබුණත් ඒවා තබා ඇත්තේ ව්‍යාජ මුද්‍රා භාවිත කරමින් බවට මේ වන විටත් පොලීසිය අනාවරණය කරගෙන තිබේ.

බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ ගණේමුල්ලේ සංජීව පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර ගනේමුල්ල සංජීවගේ සුවදුක් විමසීමට පැමිණි ගම්පහ දිස්ත්‍රික්කයේ හිටපු ප්‍රබල දේශපාලනඥයෙක්ගේ ආධාරකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඔවුන් දෙදෙනා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඔවුන් පාතාලයට සම්බන්ධ බවට ඇතිවූ සැකයක් මතය.

Leave a Reply

Your email address will not be published.