කොට සුපුන් ගේ මරණය ගැන තවත් තොරතුරු එළියට

කුලී වෙඩික්කරුවකු ලෙස පුද්ගල ඝාතන සිදු කළ සුපුන් ආකාෂ් හෙවත් කොට සුපුන් නැමැත්තා අද (07) අලුයම පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවක දී ජීවිතක්ෂයට පත් විය. 

ඔහු පසුගිය අගෝස්තු 25 වැනිදා තලංගම දී ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ද වෙඩික්කරු බව පොලීසිය පවසයි.

පාදුක්ක කෙලිමඬල ප්‍රදේශයේ පිහිටි ‘රියල් ස්ටේට්’ නම් ස්ථානයේ සංවිධානාත්මක අපරාධකරුවකු සැඟ ව සිටින බවට පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය වෙත තොරතුරක් ලැබී තිබිණි.

ඒ අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට එම නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම 03ට පමණ එහි ගොස් ඇත.

එහි දී අදාළ පුද්ගලයා විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත වෙඩි තැබීමක් සිදු කර තිබෙන බව සඳහන්ය.

එම අවස්ථාවේ දී ඔවුන් සිදු කළ වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා ඇති අතර, පසු ව ඔහු රෝහල්ගත කිරීමේ දී මියගොස් තිබෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, එලෙස මියගොස් ඇත්තේ, සුපුන් ආකාෂ් හෙවත් කොට සුපුන් නැමැති කුලී වෙඩික්කරු බවයි.

වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ තිබී ඔහු විසින් භාවිත කළ ටී 81 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් ද විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.