ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ මෙහෙයුම

කුලී ගමන් යන මුවාවෙන් පැමිණ ත්‍රිරෝද රථ රියදුරකුට පිහියෙන් ඇන ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑ සිද්ධියක් වාද්දුව, තල්පිටිය, ලෝලුගස් මංකඩ මංසන්ධිය ප්‍රදේශයෙන් වාර්තා වේ.

සැකකරු ත්‍රිරෝද රථ කුලියට ගමන්ගන්නා ස්ථානයට පැමිණ ඔහුට පානදුර පින්වත්ත ප්‍රදේශයට කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා ඇත.

පසු ව පින්වත්ත ප්‍රදේශයට යන අතරතුර එම ත්‍රිරෝද රථයට තවත් පුද්ගලයන් දෙදෙනෙකු නංවාගෙන ඇති අතර, එම තිදෙනා ද කැටුව ත්‍රිරෝද රථය පානදුර පිංවත්ත දුම්රිය ස්ථානය අසලට ගොස් ත්‍රිරෝද රථ රියදුරාට ත්‍රීවිල් රථයෙන් බැස යන ලෙස ඔවුන් තිදෙනා ප්‍රකාශ කොට ඇත.

ත්‍රිරෝද රථ රියදුරු රථයෙන් බැස යාම ප්‍රතික්ෂේප කර ඇති අතර, පුද්ගලයන් තිදෙනා ගෙන් එක් අයකු ඉනෙහි සඟවා තිබූ තියුණු ආයුධයක් ගෙන ඔහුගේ උදරය ප්‍රදේශයට සහ පපු ප්‍රදේශයට ඇන තුවාල සිදු කොට තිබේ.

එයින් බියට පත්වූ ත්‍රීවිල් රථ රියදුරු ත්‍රීවිල් රථය දමා එම ප්‍රදේශයේ පිහිටි ඔහු ගේ ඥාති නිවසකට දිවගොස් තිබේ.

ඒ අතරතුර ත්‍රීවීල් රථයේ පැමිණි පුද්ගලයන් තිදෙනා එම ත්‍රීවිල් රථය මංකොල්ල කා එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

ත්‍රීවිල් රථ රියදුරු මේ වන විට පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මෙසේ රෝහල්ගත කොට ඇත්තේ, වයස අවුරුදු 37ක වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම ත්‍රිරෝද රථ රියදුරු ගේ දෙමව්පියන් පින්වත්ත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published.