සැකකරුවෙකු අල්ලන්න ‘ජා ඇළට’ පැන්න පොලිස් කොස්තාපල් අතුරුදන්

ජා-ඇළ පොලිස් ස්ථානයේ රඳවා සිටි සැකකරුවෙකු එම පොලිසිය පිටුපසින් ගලා බසිනා ඇළට පැන පළා යාමට තැත් කිරීමේදී ඔහුව අත්අඩංගුවට ගැනීමට එම ඇළට පැන්න පොලිස් කොස්තාපල්වරයෙකු දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන් වී ඇති බව පොලිසිය පවසයි.

අද (නොවැ. 23) දින මෙම සිදුවීම සිදුව ඇති අතර ඇළ ‘ජා ඇළ’ නමින් හඳුන්වන බව පොලිසිය පැවසීය.

ජා-ඇළ පොලිස් ස්ථානයේ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යාමට සුදානම් වීමේදී මෙය සිදු වී ඇත.

හෙරොයින් සම්බන්ධ සිදුවීමකට අත්අඩංගුවට පත්ව සිටි මෙම සැකකරු අධිකරණයට රැගෙන යාමට පොලිස් කැබ් රියට නංවා ගැනීමට සිරමැදිරියේ සිට පොලිස් නිලධාරීන් පිරිසක් රැගෙන එමින් සිට තිබේ.

එම අවස්ථාවේදී අත් මාංචු ද සමග සැකකරු පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි ජා ඇළට පැන පළා යාමට තැත් කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ද සැකකරු අල්ලා ගැනීමට ඇළට පැන ඇත.

එහිදී අදාළ පොලිස් කොස්තාපල්වරයා දිය පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබේ.

ඔහු ජා-ඇළ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ යෙදී සිටි 26 හැවිරිදි චාවකච්චේරි පදිංචිකරුවෙකි.

පළා යාමට තැත් කළ සැකකරු යළිත් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published.