සිපෙට්කෝ ඉන්ධන හල් 238ක් වැසී යාමේ අවදානමක

සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුව ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.

ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අයකර ගැනීමට සුදානම් වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව ඔවුන් පෙන්වාදෙයි.

අදාළ මුදල් දෙසැම්බරු 25වන දිනට පෙර ලබාදෙන ලෙසත් එසේ නොමැති වුවහොත් ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවීමට සිදුවන බවත් සංස්ථාව දන්වා ඇති බවද බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළේය.

සිපෙට්කෝ ඉන්ධන හල් 238ක් මේ වන විට ක්‍රියාත්මක වන අතර එම ඉන්ධන පිරවුම්හල් හිමියන්ට දැනට සියයට 2.75ක කොමිස් මුදලක් හිමිවන බව සඳහන්ය.

එමෙන්ම ඉන්ධන හල්වලට මේ වන විට හිමිවන කොමිස් මුදලින් සියයට 0.25ක් මාසික පරිහරණ ගාස්තු ලෙස සංස්ථාව අයකරගන්නා බව ඉන්ධන බෙදුම්කරුවන් සඳහන් කළේය.

මෙම තත්ත්වය මත තවත් මාසික පරිහරණ ගාස්තුවක් අය කිරීම අසාධාරණ බවද ඔවුන් පෙන්වාදෙයි.

2006 වසරේ දී මෙම යෝජනාව ඉදිරිපත් වුවද 2014 වසරේ දී සිදුකළ සාකච්ඡාවලින් පසුව මෙන්ම 2021 වසරේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයකින් මෙම පරිහරණ ගාස්තු අය කිරීම අවලංගු වු බවද සඳහන්ය.

එසේ තිබිය දී අංක 1053 දරණ චක්‍රලේඛය මඟින් ඉන්ධන පිරවුම්හල් වෙත හිමිවන කොමිස් මුදලින් සියයට 35ක් අයකරගැනීමට සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ඉන්ධන හල්හිමියන් විසින් සංස්ථාවට ගෙවිය යුතු හිඟ මුදල් ද වාරික 12කින් ගෙවා අවසන් කරන ලෙස සංස්ථාව දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ උපසභාපති කුසුම්සිරි සන්දනායක මහතා,

“ඛනිජ තෙල් සංස්ථාව සතු පෙට්‍රල් ෂෙඩ් කියලා කොටසක් තියෙනවා. මේ අයගෙන් නැවත මාසයක් සඳහා රුපියල් 900,000ක විතර කුලියකුත් ටැක්ස් 15%ක් විතර දාලා තියෙනවා. හැම පෙට්‍රල් ෂෙඩ් එකකින්ම ලක්ෂ 15කට ආසන්න මුදලක් මාසයකට කුලියක් ලෙස අයකරන්න පෙට්‍රෝලියම් එක තීරණය කරලා තියෙනවා. මේක ඉතා ඉක්මනින් ඉවත්කරලා දෙන්න. එහෙම නැත්නම් පෙට්‍රල් ෂෙඩ් එක පවත්වාගෙන යෑමට බැරිවේවි. අපි ඉදිරියේ දී රැස්වීමක් කැඳවලා තියෙනවා ඇමතිතුමාටත් මේ ගැන දන්වන්න.”

Leave a Reply

Your email address will not be published.