මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් වරකාපොලදී අත්අඩංගුවට

මට්ටකුළිය ප්‍රදේශයේ කුඩු ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරුවෙකු වන “කුඩු රොෂාන්”, ඔහුගේ සොහොයුරෙකු සහ ඔවුන්ගේ තවත් ඥාතීන් පිරිසක් වරකාපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක ප්‍රමාණයක් සහ තවත් පුද්ගලයෙක් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 875ක්ද පොලීසිය සොයාගෙන ඇත.

යුක්තිය මෙහෙයුම ආරම්භවීමත් සමග මෙම පිරිස නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් රැගෙන එහි නතරවී සිට යුක්තිය මෙහෙයුම අවසන්ව ඇති බවට සිතා නැවත කොළඹ වෙත පැමිණෙමින් සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ සැකකටයුතු වාහන දෙකක පිරිසක් කොළඹ දෙසට ගමන්කරන බවට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෝටර් රථයේ සහ වෑන් රථයේ සිටි පිරිමි පුද්ගලයින් 10ක් කාන්තාවන් 05ක් සහ ළමුන් 08ක් පොලීසිය සිය භාරයට ගෙන විමර්ශන ආරම්භ කර ඇත.

ළමුන් අතර ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ පිරිමි ළමුන් 06 දෙනෙක් සිටි බව පොලීසිය පවසයි.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එම පිරිස මට්ටකුළිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවය.

ඒ අතරින් පිරිමි පුද්ගලයින් 4ක් සහ කාන්තාවන් 03ක් මේ වනවිටත් යුක්තිය මෙහෙයුමට අදාළව මට්ටකුළිය පොලීසිය විසින් සොයමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවට හෙළිවී ඇත.

පොලීසිය සතු දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී එම පිරිස අතර සිටි 7ක් මීට පෙර විවිධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ලව සිටි අය බවද හෙළිවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙලෙස යුක්තිය මෙහෙයුමත් සමග විවිධ ප්‍රදේශවල දේශීය සංචාරකයින් නවාතැන් ගන්නා හෝටල්වල නැවතී සිටින තත්ත්වයක් පිළිබඳව තොරතුරු වාර්තාවන බවද පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published.