සනත් නිශාන්තගේ දේහය අද නිවසට රැගෙන යයි

අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ දේහය අද (26)  පුත්තලමේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිතව තිබේ.

දේහය මහජන ගෞරවය සඳහා ඊයේ පස්වරුවේ බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක් වෙත රැගෙන ආ අතර එය අද පෙරවරු 10.30ට ආරච්චිකට්ටුව ප්‍රදේශයට රැගෙන යාමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව දේහය පිළිබද අවසන් කටයුතු ලබන 28 වන ඉරිදා සිදුකිරීමට සැලසුම් කර තිබේ.

ඊයේ (25) රාත්‍රියේත් ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති මල් ශාලාව වෙත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ  මැතිඇමතිවරුන් ඇතුළු පාර්ශ්ව රැසක් පැමිණි බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.

ඊයේ අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබුණි.

රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබු අතර ඉන් තුවාල ලැබු ජීප් රථයේ රියදුරු මේ වනවිටත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මියයන විට සනත් නිශාන්ත මහතා 48 හැවිරිදි වියේ පසුවිය.
 

Leave a Reply

Your email address will not be published.