පොලීසිය තුළ සිදුකළ පළිගැනීම

අම්බලන්ගොඩ හිටපු සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු පොලිස් කොස්තාපල්වරයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) තීන්දු කළේය.

මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ සැකකරුවන් කිහිපදෙනෙකු නිදහස් කරන ලෙස කළ බලපෑමකට අවනත නොවී ඒ සම්බන්ධ විමර්ශන සිදුකිරීම හේතුවෙන් පළිගැනීමක් ලෙස කොස්ගොඩ පොලිසීයේ සේවය කළ පොලිස් කොස්තාපල් පී.ඩී.ඒ. පනාපිටිය මහතාට එරෙහිව අසත්‍ය චෝදනා මත නඩුවක් පවරා ඔහුගේ වැඩ තහනම් කළ බවටත්, ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රඳවාගත් බවටත් ඔවුන්ට චෝදනා එල්ලවී තිබුණි.

ඒ අනුව, පෙත්සම්කරුට රුපියල් ලක්ෂ 20ක් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙස එවක අම්බලන්ගොඩ සහකාර පොලිස් අධිකාරී යූ.එම්. අමරසිරි, එවක කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති මංගල ද සොයිසා අමරසේකර, එම පොලීසියේ අපරාධ අංශය භාර ස්ථානාධිපති අසේල ප්‍රේමනාත් ද සිල්වා සහ පොලිස් සැරයන් ඉන්දික ද සිල්වා යන නිලධාරීන්ට නියෝග කෙරුණි.

එම වන්දි මුදල් ඊයේ දින සිට මාස හයක කාල සීමාවක් තුළ  ගෙවා අවසන් කළ යුතු යැයි නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය රජය විසින් රුපියල් 25,000ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවටද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published.