ලෝකයේ ආර්ථික බලවතුන් අතර අද තියුණු සීතල යුද්ධයක් පැන නැගී තිබෙන්නේ AI නැත්නම් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඒකාධිකාරිය රැක ගැනීම් සහ අත්පත් කර ගැනීමේ අරමුණෙනි.
2024 වසර තීරණය කරනු ඇත්තේ AI තාක්ෂණයේ දියුණුව මත බව වසර මුලදීම පුරෝකතන ඉදිරිපත් විය.
සිදුවීම් ඒ ආකාරයෙන්ම ගලා යමින් අද අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ වඩාත්ම වටිනා සමාගම බවට පත්වී තිබෙන්නේ AI තාක්ෂණයෙන් සන්නද්ධ පරිගණක් චිප් නැත්නම් සෙමිකන්ඩක්ටර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන එන්වීඩියා (Nvidia) සමාගමයි.
එන්වීඩියා සමාගම පසුගිය දා ඇමසෝන් සහ ගූගල් අයත් ඇල්ෆබට් සමාගමක් පරදවමින් අමෙරිකානු කොටස් වෙළෙඳපොළේ සිය ප්‍රාග්ධන අගය ඉහළ නැංවීමට සමත් විය.
ඊයේ දිනයේ දී එන්වීඩියා 2023 අවසන් කාර්තුවේ ප්‍රතිඵල නිකුත් වූ අතර ඒ පිළිබඳ ලොව පුරා විශාල අවදානයක් යොමු වී තිබිණි.
එහිදී වෙළෙඳපොළ අපේක්ෂාවන් අභිභවා යමින් එන්වීඩියා 2023 අවසන් කාර්තුවේ දී ඩොලර් බිලියන 22ක ආදායමක් වාර්තා කර තිබුණේ පෙර වසරට වඩා සියයට 265ක වර්ධනයක් ලකුණු කරමිනි.
එමෙන්ම ඒ සමඟ 2023 වසරේදී එන්වීඩියා සමස්ත පිරිවැටුප අමෙරිකානු ඩොලර් බිලියන 60.9 දක්වා දෙගුණයකින් ඉහළ ගොස් තිබේ.
එන්වීඩියා ප්‍රධාන විධායක ජෙන්සන් හුවන් මේ වර්ධනයට හේතුව ලෙස සඳහන් කරන්නේ AI නැත්නම් කෘත්‍රිම බුද්ධි චිප්ස් සඳහා ලොව පුරා ඇතිව ඇති ඉල්ලුමයි.
විශේෂ දේ සඳහා පමණක් භාවිත කළ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය අද ලෝකයේ කර්මාන්ත සමාගම් සහ රජයන් පුළුල් අන්දමින් භාවිත කිරීඹට පෙළඹීම මෙම නව AI උන්මාදයට හේතු වී තිබේ.
එන්වීඩියා මේ වසර් පළමු කාර්තුවේදී සිය ආදායම සියයට 233කින් ඉහළට ගනු ඇතැයි සඳහන් වේ.
මේ අතර බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක AI ආශ්‍රිත සමාගම් කොටස් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
මේ අතර ජපානය නිකෝ කොටස් වෙළෙඳපොළ දර්ශකය අද 1989න් පසු ලැබූ ඉහළම වර්ධනය වාර්තා කිරීමට සමත්ව ඇත.
AI චිප්ස් නිෂ්පාදන සමාගම් ජපාන ආයෝජන සඳහා උද්යෝගයක් දැක්වීම ද ඊට බලපා ඇති කරුණකි.
චීනය විසින් දුරස්ථ කරන තායිවාන සමාගම් මෙලෙස ජපානයේ ආයෝජන සඳහා ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.