තැන තැන හමු වන නාඳුනන මළ සිරුරු

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු 04ක් හමු ව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පවසන්නේ,  එම මළ සිරුරු කුරුවිට, පෑලියගොඩ, මාරවිල සහ රාගම යන පොලිස් වසම්වලින් හමු ව ඇති බව ය.

කුරුවිට පොලිස් වසමේ පිංවල ප්‍රදේශයේ කුරු ගඟේ නිරුවත් මෘත ශරීරයක් තිබී සොයාගෙන ඇත.

මළ සිරුර මේ වන තෙක් හඳුනාගෙන නොමැති අතර, එය වයස අවුරුදු 35ත් 40ත් අතර උස අඩි 05යි අඟල් 08ක පමණ පිරිමි පුද්ගලයකුගේ බවට අනුමාන කළ හැකි බව වාර්තා වේ.

මේ අතර පෑලිගොඩ – 04 කණුව හා පට්ටිය හන්දිය අතර ප්‍රදේශයේ දී දුම්රියක ගැටුණු පුද්ගලයෙකුගේ නාඳුනන මෘත ශරීරයක් හමු ව තිබේ.

මරණකරු වයස අවුරුදු 35ක් පමණ වන උස අඩි 05ක පමණ පිරිමි පුද්ගලයෙකි.

ඔහු අවසන් වරට සුදු හා කළු ටී ෂර්ට් එකක් සම කළු දිග බොටම් කලිසමක් හැඳ සිට ඇති අතර, දකුණ අතේ වැලමිටෙන් පහළ පච්ච කොටා ඇති බව පොලීසිය පවසයි.

මේ අතර මාරවිල – ජයලත්ගම ප්‍රදේශයේ දී වගුරු බිමක නාඳුනන පුද්ගලයෙකුගේ නිරුවත් මළ සිරුරක් හමු ව තිබේ.

මරණකරු වයස අවුරුදු 55ක් 60ක් පමණ වන උස අඩි 06ක පමණ පිරිමි පුද්ගලයෙකි.

මේ අතර, රාගම – කඩවත මාර්ගයේ රෝහල් වට රවුම ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් ඉදිරිපිට පඩිපෙළෙක නාඳුනන මළ සිරුරක් හමු ව තිබේ.

මරණකරු මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, මරණකරු වයස අවුරුදු 60ත් 65ත් අතර වයසේ පසු වන, උස අඩි 05යි අඟල් 04ක පමණ පිරිමි පුද්ගලයෙකි.

ඔහු අළු පැහැති සරමක් හා කළු පැහැති අත්කොට ටී ෂර්ට් එකක් හැඳ සිට තිබේ. 

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Leave a Reply

Your email address will not be published.