පාර්ලිමේන්තුව ලබන 05 වැනිදා සිට 07 වැනිදා දක්වා

එළැඹෙන 05, 06 සහ 07 යන දිනයන්හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත් 08 වැනි සිකුරාදා රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දී තිබේ.

මේ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව 09.30ට පාර්ලිමේන්තුව රැස් වන අතර පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වෙන්ව ඇත්තේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ය.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 4.30 දක්වා පසුගිය පෙබරවාරි 20 වනදා දෙවන වර කියවීමේ විවාදයට ගෙන කල්තබන ලද සුරක්ෂිත ලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙවන දිනටත් විවාදයට ගෙන මීළඟ දිනට කල්තැබීමට නියමිත ව ඇත.

අනතුරුව ප.ව 4.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට ද තීරණය කර තිබේ.

මාර්තු 6 වන බදාදා පෙ.ව 9.30 – පෙ.ව 10.00 කාලය අග්‍රාමාත්‍යවරයාගෙන් විමසන ප්‍රශ්න සඳහා ද පෙ.ව 10.00 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා ද කාලය වෙන් කර ඇත.

එසේම පෙ.ව 10.30ට පමණ, අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ දැනට පවතින 2024.02.03 දිනැති අංක 2369/58 දරන ගැසට් පත්‍රය කල් ඉකුත්වීමෙන් පසු ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ගැසට් පත්‍රයේ සඳහන් නියමය ද එදින විවාදයකින් තොරව අනුමත කරගැනීමට නියමිතය.

අනතුරුව පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා, පෙර දින විවාදයට ගන්නා ලද සුරක්ෂිතලත් ගනුදෙනු, භාර ලදුපත් (සංශෝධන), උකස් සංශෝධන, කල්බදු මූල්‍යකරණ සංශෝධන, දේශීය භාර ලදුපත් (සංශෝධන), සමාගම් (සංශෝධන) සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන පනත් කෙටුම්පත් තෙවන දිනටත් විවාදයට ‍ගැනීමට නියමිත ය.

එසේම එදින සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත් (දෙවන වර කියවීම) විවාදයට ගැනීමට ද තීරණය කර තිබේ.

අනතුරුව ධීවර අමාත්‍යාංශය යටතේ ඇති සීමාසහිත සීනෝර් පදනම, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව සහ ශ්‍රී ලංකා ජලජීවි වගා සංවර්ධන අධිකාරිය යන ආයතනයන්හි වාර්ෂික වාර්තා ත්‍රිත්වයකට අදාළ යෝජනාවන් විවාද කිරීමෙන් තොරව අනුමත කරගැනීමට ද තීරණය වී ඇත. 

ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.

මාර්තු 7 වන බ්‍රහස්පතින්දා පෙ.ව 9.30 – පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් වී ඇත.

අනතුරුව ආණ්ඩු පාර්ශ්වය සහ විපක්ෂය විසින් ඒකාබද්ධව ගෙනෙන යෝජනාවක් ලෙස “වනජීවීන් හේතුවෙන් සිදුවන වගා හානිය” පිළිබඳව සභාව කල්තැබීමේ විවාදය පෙ.ව 10.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වීමට ද මෙහි දී තීරණය වී තිබේ.

මේ අතර, කාර්ය මණ්ඩල වැටුප් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහබැංකුවේ නිලධාරීන් ලබන 5 වනදා පෙ.ව 10.30ට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමට කැඳවීමට ද ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published.