සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකුට ඇප

පසුගිය 01 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ පාලමුණු – ආරියම්පති ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සහරාන් හෂිම්ගේ මස්සිනා ඇතුළු 30 දෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

එමෙන්ම එම සැකකරුවන්ට එළැඹෙන 06 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද අධිකරණය නියෝග කර ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 01 වනදා අලුයම් කාලයේදී කත්තාන්කුඩි පොලිස් වසමේ පාලමුණ – ආරියම්පති ප්‍රදේශයේ තාවකාලිකව ඉදි කළ මඩුවක් වැනි ස්ථානයක පුද්ගලයින් 30ක පමණ රැස්ව සිටින බවට කාත්තන්කුඩි පොලීසියට තොරතුක් ලැබී තිබුණි.

එම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායම් විසින් එහි සිටි පුද්ගලයින් 30 දෙනෙකු යම් අපරාධ ක්‍රියාවක් හෝ රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදුකිරීමේ අරමුණින් රැස්ව සිටින බවට වූ සැකය මත අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 30 දෙනාගෙන් කාත්තන්කුඩි පොලිස් ස්ථානය මගින් ප්‍රකාශ සටහන් කර ගෙන තිබූ අතර එම පුද්ගලයින්ගෙන් මඩකළපුව ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාස ඒකකයේ නිලධාරීන් විසින්ද ප්‍රශ්න කිරීමක් සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 48ත් අතර වයස්වල පසුවන කාත්තන්කුඩි හා මඩකළපුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

සැකකරුවන් අතර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂිම්ගේ නැගණියගේ ස්වාමිපුරුෂයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනෙකුද සිට ඇත.

එම සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව මෙම පිරිස යම් අපරාධයකට හෝ රාජ්‍ය විරෝධි ක්‍රියාවක් සිදුකිරිමේ අරමුණින් රැස්ව සිටි බවට තොරතුරු අනාවරණය වී නොමැති බව පොලීසිය පැවසීය.

Leave a Reply

Your email address will not be published.