කැනඩාවේ සමූහ ඝාතනයේ තොරතුරු රැසක් එළියට

කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි.

35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් අද දෙරණට මෙලෙස පැවසීය.

“මට දැනුණා මොනවා හරි වෙයි කියලා. මට නිකන් මිනී පෙට්ටි වගයක් පෙණුනා. ලොකු කරදරයක් ද දන්නේ නෑ කියලා මම හිතුවා. යන තැනකට දෙයක් කරගන්නවා අම්මා කියනවා… හැමවෙලාවේම හිතන්නේ බුදුදහම ගැන. අනේ කොච්චරවත් පන්සල් ගානේ ගිය දරුවානේ…”

මෙම සමූහ ඝාතනය සිදුවන්නේ, කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බැර්හෙවන් ප්‍රදේශයේ ශ්‍රී ලාංකික පවුලක් ජීවත් වූ නිවසකය.  

ඒ, කැනඩා වේලාවෙන් බදාදා රාත්‍රී 11ට පෙර වේලාවකදීය. 

සිද්ධිය වන අවස්ථාවේ නිවසේ සිට තිබුණේ, 35 හැවිරිදි මව, දරුවන් සිව්දෙනා සහ ඔවුන් සමගම පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකි. 

38 හැවිරිදි ධනුෂ්ක වික්‍රමසිංහ නම් දරුවන්ගේ පියා එම අවස්ථාවේ නිවසට පැමිණෙන විට වෙනදා මෙන් නිවසේ විදුලි පහන් දල්වා තිබී නැහැ. 

පියා නිවසට ඇතුළුවනවාත් සමගම කිසියම් කෙනෙකු පහරදී ඇති අතර පැවති අන්ධකාරය හේතුවෙන් පහරදුන් පුද්ගලයා එකවිට හඳුනාගැනීමට නොහැකි වී තිබේ.

කෙසේ වෙතත් තමාට පහරදුන්නේ, තමන් සමග නිවසේ ජීවත් වූ ලාංකික ෆ්‍රෑන්ක් ද සොයිසා ලෙස හඳුනාගත් ධනුෂ්ක තම පවුලේ සාමාජිකයින් ගැන විමසා තිබේ. 

තම දෑත්වල ලේ තැවරී ඇති බවත් තමන්ට පහර දී තිබුණේ තියුණු ආයුධයකින් බවත් ධනුෂ්කට අවබෝධ වී තිබුණේ මොහොතකින් පසුවය.

අනතුරුව ෆ්‍රෑන්ක් අත තිබූ පිහිය ද උඳුරාගත් ධනුෂ්ක නිවසින් පිටතට දිවගොස් ඇත්තේ තමන්ට උදව් කරන ලෙසට පවසමිනි. 

ඔටාවා පොලීසිය පවසන්නේ, 911 හදිසි ඇමතුම් අංකයට හදිසි තත්ත්වයක් පිළිබඳ ඇමතුම ලැබුණේ  රාත්‍රී 10.52ට බවය. 

ඇමතුම ලබා දුන් පුද්ගලයා පවසා තිබුණේ පිරිමි පුද්ගලයෙකු 911 අමතන ලෙස උදව් ඉල්ලා කෑ ගසමින් සිටින බවය.

ශාන්ති රමේෂ් (අසල්වැසියෙක්)

“මම දුටුවා නිවසට යන පාරේ පුද්ගලයෙක් බිම හිඳගෙන කෑ ගසමින් වැලපෙමින් සිටින අයුරු. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔහු රැගෙන පොලිස් රථයකට නංවා ගත්තා. ඒ අවස්ථාවේ මම දැන සිටියේ නැහැ මේ වගේ ඛේදවාචකයක් සිදුව ඇති බව. මේක ඉතාමත් කනගාටුදායක ඛේදනීය සිදුවීමක්. මේ කුඩා දරුවන් කිසිවෙක් මේකට වගකිව යුතු නැහැ.”

ඝාතනය සිදුවූ ස්ථානයට පැමිණි ඔටාවා පොලිස් නිලධාරීන් පළමුව තුවාල ලබා සිටි ධනුෂ්ක රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබිණි.

ඔහුගේ බිරිඳ, දරුවන් සහ පවුලේ හිතවතෙකු නිවස තුළම ඝාතනය කර ඇති බවට පොලීසිය අනාවරණ කරගෙන තිබු‍ණේ ඉන් අනතුරුවය.

පොලිස් ප්‍රධානී – එරික් ස්ටබ්ස්,
“අපේ කණ්ඩායම වහාම යොදවනු ලැබුවා. නිලධාරීන් සැකකරු හඳුනාගෙන වහා අත්අඩංගුවට ගනු ලැබුවා. නිලධාරීන් නිවසට ඇතුළුවී පරීක්ෂා කළා. ඒ අවස්ථාවේදී තමයි. මේ සිදුවීමේ මියගිය 6 දෙනා සොයාගනු ලැබුවේ. මේ පවුල් කැනඩාවට අලුතින් පැමිණි අය. ඔවුන් පැමිණ ඇත්තේ ශ්‍රී ලංකාවෙන්. මියගිය කාන්තාවගේ සැමියා දරුණු තුවාල ලැබ එම අවස්ථාවේදී අපට හමුවුණා. රෝහල් ගතකරද්දී ඔහුගේ තත්ත්වය බරපතළ වුවත් දැන් ඔහුගේ තත්ත්වය ස්ථාවරවී තිබෙනවා. විමර්ශනවලදී තියුණු ආයුධයක් මේ ඝාතන සහ තුවාල සිදුකිරිම් සඳහා යොදාගෙන ඇති බව අනාවරණ වුණා.”

මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දී තිබුණේ මෑතකදී කැනඩාවේ පදිංචියට ගිය ශ්‍රී ලාංකික පවුලකි.

කැනඩා පොලීසියට අනුව මෙලෙස ඝාතනය වී ඇත්තේ  35 හැවිරිදි මව වන දර්ශණී දිලන්තිකා ඒකනායක,  07 හැවිරිදි ඉනුක වික්‍රමසිංහ, 04 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහ සහ මාස 02ක් වයසැති කෙලී වික්‍රමසිංහ යන ඇගේ දරුවන් 04 දෙනා සහ 40  හැවිරිදි ගාමිණී අමරකෝන් නම් වික්‍රමසිංහ පවුලේ සමීපතමයෙකි.

ඝාතනය කෙරුණු දෙහැවිරිදි රින්යානා වික්‍රමසිංහගේ උපන්දිනය ද යෙදී තිබුණේ මෙම මස ආරම්භයේ දීය.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින්නේ කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි 19 හැවිරිදි ෆ්‍රෑන්ක් ද සොයිසා නැමැති සිසුවෙකි. 

ඔහු ඝාතනය සිදුකෙරුණු නිවස තුළදීම අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

ඊයේ (07) අධිකරණයට ඉදිරිපත් කෙරුණු ඔහු නැවතත් ලබන 14වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව පවතී.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මේ වනවිට සැකකරුට මිනිමැරීම සහ මිනී මැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල වී ඇති බවය.

කෙසේ වුව ද වික්‍රමසිංහ පවුල මෙලෙස ඝාතනය කිරීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.

Leave a Reply

Your email address will not be published.