පරීක්ෂණ කොමිෂන් සභාවක කාලය දීර්ඝ කෙරේ

මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම පියවර ගෙන ඇත.

පසුගිය ඔක්තෝබර් මස 16 වන දින ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරීක්ෂණ කොමිෂන් සභාව පත්කරනු ලැබීය.

මැතිවරණ නීති රීති පිළිබඳ පරීක්ෂා කර බලා කාලීන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි මැතිවරණ නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීම එම පරීක්ෂණ කොමිෂන් සභාවට පවරා තිබේ.

කාන්තා හා තරුණ නියෝජනය වැඩි කිරීම, මැතිවරණය ප්‍රකාශයට පත්කළ දින සිට මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත් කරන දින දක්වා කාලය අඩු කිරීම, ඡන්දය භාවිත කිරීමේ දී නවීන තාක්ෂණය යොදා ගනිමින් ඡන්දය භාවිතා කිරීම සඳහා අවස්ථාව සැලසීම, විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය භාවිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව අදාළ කමිටුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබා දී තිබුණි.

අදාළ නිර්දේශ අප්‍රේල් මස 15 වන දිනට පෙර ලබාදිය යුතු බවට මීට පෙර දැනුම් දී තිබූ අතර එම කාලය තවත් මාස 02කින් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව අදාළ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා ජුනි මස 15 වන දින දක්වා කාලය ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published.