පියාගේ දේපොළට අයියයි මල්ලියි මරා ගනී

ඉඩම් ආරවුලක් මුල් කරගනිමින් ගලහ, නිල්ලඹ යෝගලෙච්චමී වත්තේදී ඊයේ (12) පුද්ගලයෙක් සිය බාල සොහොයුරාව තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ 35 හැවිරිදි ක්‍රිෂ්ණසාමී කරුණානිධි නම් පුද්ගලයෙකි.

ඔහුගේ සොහොයුරා වන ඒසුදාසන් තිදරු පියෙකු වන අතර ඔහු කලක් බන්ධනාගාරගතව සිට නිදහස ලබා අනුරාධපුරයේ තනිව ජීවත්වෙමින් සිටි පුද්ගලයෙකි.

ඒ අතරතුර සිය පියාට අයත් ඉඩමක් සිය අවිවාහක සොහොයුරා විකුණා ඇති බවට සැළවීමත් සමග ඔහු ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ කරුණානිධිගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන තිබේ.

ගැටුම සමථයකට පත් කිරීමට අසල්වැසියන් මැදිහත්වූවත් එය ව්‍යර්ථවී තිබුණි.

රාත්‍රිය පුරා පැවති ගැටුමෙන් පසු ඊයේ අලුයම 2 පමණ සිට පැවති නිහඬතාවය සම්බන්ධයෙන් සැක සිතූ අසල්වැසියන් ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී දැක ඇත්තේ තුවාල සහිතව දෑත් ගැටගසා බිම වැටී තිබූ කරුණානිධිගේ නිසල දේහයයි.

මුගුරු, තියුණු ආයුධ, ගල් සහ වීදුරු බෝතල්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබෙන බවට සාක්ෂි හමුවී ඇතැයි පැවසෙයි. 

සොහොයුරාට පහරදී පළායමින් සිටි ඒසුදාසන්ව අසල්වැසියන් විසින් අල්ලා ගලහ පොලීසියට භාරදී තිබුණි.

Leave a Reply

Your email address will not be published.