ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ මෘදුකාංග ඉංජිනේරුවෙක් අත්අඩංගුවට

ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාලයකට අයත් රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් හෑෂ් හා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් බවයි බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය සඳහන් කළේ.
සැකකරු සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 01යි ග්‍රෑම් 238ක්, කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90ක්, මුදලින් රුපියල් 85,000ක්, ඇපල් වර්ගයේ ජංගම දුරකථන දෙකක් සහ ස්කූටි වර්ගයේ යතුරු පැදියක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට සහ බස්නාහිර පළාත් බුද්ධි අංශයට සහ විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු නුගේගොඩ විජේරාම හන්දියේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය ඉතාලියේ සිට මෙරටට ගෙන්වන ලද මත්ද්‍රව්‍ය තොගයක් බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, සැකකරු රාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක්.
ඉතාලියේ සිට හෑෂ් සහ කුෂ් මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වන මෙම ජාවාරමේ මහමොකරු කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
සැකකරු අද (29) නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මිරිහාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published.