මෝදි ලංකාවට ?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවෙි සංචාරය  කරනු විශ්වාස කරන බව ඉන්දීය ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර්  මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ  නවදිල්ලි නුවර දී ඊයේ (10)පැවසීය.

අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අතර පැවති විශේෂ හමුවේදී මෙරටට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ජය ශංකර් මහතා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අනාවරණය කළේය.

 ශ්‍රී ලංකාවේ කෙරෙන ඉන්දීය ආයෝජන ව්‍යාපෘති සම්බන්ධයෙන් සොයා බලන බවත් අතරමග නතර වී ඇති ව්‍යාපෘති නැවත ඇරඹීමට කටයුතු කරන බවත් ජයශංකර්   මහතා මෙහිදී දැනුම් දුන්නේය.

අසල්වැසියාට පළමු තැන දෙන ඉන්දීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් හුවමාරු විය.

ඉන්දීය රජය විසින් ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ කරන කර්මාන්ත කලාපය සම්බන්ධයෙන්ද මෙහිදී ජය ශංකර් මහතා අදහස් පල කර ඇති අතර ඉන්දීය ආයෝජකයන් රැසක් එහි සිය ආයෝජන කටයුතු ආරම්භ කරන බව සඳහන් කර තිබේ.

 ඉන්දීය ආයෝජකයන්ට අමතරව වෙනත් රටවල ආයෝජකයන්ද මෙම කර්මාන්ත කලාපයේ ආයෝජන සඳහා සම්බන්ධ කරන බවද ද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කරනු ලැබූයේ කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ,අධ්‍යාපනය සහ ආර්ථික කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි බලතල නව ආර්ථික පරිවර්තනීය පනතින් පළාත් සභාවලට ඇතුලත් වන බවයි.

Leave a Reply

Your email address will not be published.