ඇතැම් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් සහ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලනඥයන්ගේ විශාල වංචාවක් හෙළිදරව් කරමින් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ සමීපතම පවුලේ ඥාතියෙකු ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ‘මාෆියා වංචාකරුවන්ගේ කල්ලිවලට’ නොරැවටෙන ලෙසයි.
ප්රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරා වන වේළුපිල්ලේ මනෝහරන්ගේ පුතු කාර්තික් මනෝහරන්, මෙම හෙළිදරව්ව සිදු කළේය.
ඔහු අනතුරු ඇඟවූයේ හිටපු කැරලි නායකයා ‘ජීවත් වීම’ සඳහා එකතු කරන කිසිදු මුදලක් එම පවුලට හෝ උතුරේ දුගී දුප්පත් දෙමළ ජනතාවට නොයන බවයි.
දේශපාලන සහ මූල්‍යමය වාසි ලබා ගැනීම සඳහා තම මාමා සහ ඥාති සොහොයුරිය මළවුන්ගෙන් පණ ගැන්වීමට උත්සාහ කරන ඉන්දීය දෙමළ නායකයන් වන නෙදුමාරන්, කාසි ආනන්දන් සහ හිටපු ශ්‍රී ලංකා දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ සිවාජිලිංගම්ට එරෙහිව ප්රභාකරන්ගේ බෑණනුවන් චෝදනා කර තිබෙනවා.
එමෙන්ම ඔහු ලොව පුරා සිටින දෙමළ ජනතාවගෙන් ඉල්ලීමක් කරමින්, ශ්‍රී ලංකාවේ අසරණ දෙමළ ජනයාගේ සැබෑ ප්‍රශ්ණයට විරුද්ධව කටයුතු කරන අයට නොරැවටෙන ලෙස ඉල්ලා සිටියා.
දෙමළ කණ්ඩායම්වල හැසිරීම පිළිබඳව තම කළකිරීම ප්‍රකාශ කළ ප්රභාකරන්ගේ බෑණනුවන් හිටපු දෙමළ මන්ත්‍රී සිවාජිලිංගම්ට එරෙහිව පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයෙන් ද ඉල්ලීම් කර තිබෙනවා.
ඩෙන්මාර්කයේ සිට කතා කරමින් කාර්තික් පැමිණිලි කළේ ඩයස්පෝරා කණ්ඩායම් 2009 යුද්ධය අවසන් වූ අවස්ථාවේ මුදල් එකතු කළ බවත් දැන් එම මුදල් මේ වසරේ 70 වැනි වියට පා තබන ප්රභාකරන් මාමා රැකබලා ගැනීමට යොදවන බවට ප්‍රකාශ කරන බව සඳහන් කළා.
“මගේ මාමා සහ ඔහුගේ මුළු පවුලම මිය ගියේ යුද්ධයේ අවසාන දිනවලයි. කරුණාකර මියගිය අයට ගරු කරන්න,” පසුගිය වසර 26 ක් තිස්සේ ඩෙන්මාර්කයේ ජීවත් වන කාර්තික් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එයයි.
වසර 40කට ආසන්න කාලයක් පැවති නිහැඬියාව බිඳ දමමින් මෙම සත්‍යය ලොවට පැවසීමට මනෝහරන් පවුල ගත් මෙම තීරණය, ප්රභාකරන්ගේ ‘සන්නාමය’ විකුණමින් ලොව පුරා දෙමළ ජාතිකයන්ගේ සිය දහස් ගණන් දුක් මහන්සියෙන් උපයාගත් මුදල් කොල්ලකෑමට උත්සහ කරන කෑදර ඩයස්පෝරා කණ්ඩායම්වල ‘විකාර’ නතර කිරීමේ පියවරක් බවයි ඔහු පවසන්නේ.
විශේෂයෙන්ම ප්රභාකරන්ගේ දියණිය වන ‘ද්වාරකා’ ගේ අනුරුවක් AI ඔස්සේ හසුරුවන වීඩියෝ පටය එල්.ටී.ටී.ඊ.යේ ‘මාවීරර් නාල්’ ඔස්සේ යුරෝපයට නිකුත් වීමත් සමඟ ප්රභාකරන්ගේ මුළු පවුලම මියගොස් ඇති බවට ‘ඇත්ත’ පැවසීමට පවුල තීරණය කළ බව ඔහු පවසනවා.
මනෝහරන් පැවසුවේ තම මාමා ජීවත්ව සිටියා නම් මේ වසරේ නොවැම්බර් 26 වැනිදාට ඔහුට වයස අවුරුදු 70ක් වන බවයි.