බයිඩන් ජනපති සටනින් ඉවත්විය යුතු බවට ඩිමොක්‍රටික් පක්ෂයෙන්ම මතයක්

අමෙරිකානු වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මෙවර ජනාධිපතිවරණ සටනෙන් ඉවත්විය යුතු බවට එම පක්ෂය තුළින්ම මතවාදයක් ගොඩනැගී තිබේ.

ඒ බයිඩන් වයස්ගත බවට සහ ඔහු පාකින්සන් රෝගයෙන් පෙළෙන බවට එල්ලවන චෝදනා මුල්කරගෙනයි.

81 හැවිරිදි වත්මන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලබන නොවැම්බර් මාසයේදී පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සූදානමින් පසු වේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහුට හිමිව තිබූ සහාය කෙමෙන් පහත වැටෙමින් පවතින්නේ වයස්ගත බයිඩන් ඊට නුසුදුසු බවට පක්ෂය තුළම කතාබහක් නිර්මාණය වී තිබීම හේතුවෙනි.

මෙම ආන්දෝලනයට මුල්වූයේ පසුගිය ජූනි 27 වැනිදා බයිඩන් සහ රිපබ්ලිකන් අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති ජනාධිපතිවරණ අපේක්ෂක විවාදයයි.

එහිදී ට්‍රම්ප් හමුවේ බයිඩන් දැක්වූ අසාර්ථකභාවය සමඟ ඔහු පක්ෂයේ මීළඟ අපේක්ෂකයා වීමට සුදුසු ද යන්න එම පක්ෂයේ ඉහළ තනතුර අතර ඇතිවූ කතාබහ කෙතරම් ද යත්, තමන් මැතිවරණ සටනින් ඉවත්කළ හැක්කේ දෙවියන්ට පමණක් බව පැවසීමට බයිඩන්ට සිදුවීමෙන්ම පැහැදිලි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බොහෝ පාර්ශ්ව බයිඩන්ගේ වයස්ගතභාවය ප්‍රශ්න කරන අතර ඇතැමුන් පෙන්වා දෙන්නේ ඔහු පාකින්සන් රෝගයෙන් පීඩාවිඳින බවයෙ.

මාධ්‍යවේදියා – ජනාධිපතිවරයා පාකින්සන් රෝගයට ප්‍රතිකාර ගන්නවාද?

මාධ්‍ය ප්‍රකාශිකාව – නැහැ. ඔහු පාකින්සන්වලට ප්‍රතිකාර ගන්නවද? නැහැ

යම් හෙයකින් බයිඩන් මැතිවරණ සටනින් ඉවත්වුවහොත් එම අපේක්ෂකත්වයට පත්වන්නේ කවරෙක්ද යන්න සම්බන්ධව මතුව ඇත්තේ ප්‍රශ්නගත තත්ත්වයකි.

ඊට සුදුසුම පුද්ගලයා ලෙස බොහෝදෙනාගේ කැමැත්ත දිනා ඇත්තේ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස්.

ඊට අමතරව හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ බිරිඳ වන මිෂෙල් ඔබාමා සම්බන්ධව ද බොහෝ දෙනාගේ දැඩි කැමැත්තක් පවතී.

Leave a Reply

Your email address will not be published.