සිසු විරෝධතාවලින් බංග්ලාදේශය තවමත් ගිනි ගනී

දෙසතියක පමණ කාලයක සිට බංග්ලාදේශයේ ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක සිසු විරෝධතා අතරතුරදී පුද්ගලයන් 32ක් පමණ මියගොස් තවත් දහසක් පමණ තුවාල ලබා තිබේ.

විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත්තේ රජය විරෝධතාකරුවන් පාලනයට දැඩි මර්දනකාරී පිළිවෙතක් අනුගමනය කිරීමත් සමඟය.

රට තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ස්වරූපය සැළකිල්ලට ගනිමින් රටපුරා පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමා තිබේ.

කළහකාරීව හැසිරෙන විරෝධතාකරුවන් රජයේ නාලිකාව ගිනි තබා තිබූ අතර මේ වනවිට එරට සියලුම රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකා විකාශය අත්හිටුවා ඇති බව සඳහන් ය.

එමෙන්ම රටපුරා අන්තර්ජාල සබඳතා මෙන්ම දුරකථන සබඳතා ද අවහිර කර තිබේ.

සිසුන් මෙලෙස විරෝධතාවල නිරත වන්නේ, 1971 නිදහස් සටනේ නියමුවන් යුද විරුවන් ලෙස සලකමින් ඔවුන්ගේ දරුවන්ට රජයේ රැකියා ලබාදීමේදී ප්‍රමුඛත්වය දීමේ කෝටා ක්‍රමවේදයට විරෝධය පළ කරමිනි.

ඒ අනුව එරට රජයේ රැකියා පුරප්පාඩුවලින් තුනෙන් එකක් එනම් සියයට 30කට වැඩි කොටසක් වෙන්කර ඇත්තේ යුද විරුවන්ගේ දරුවන් වෙනුවෙනි.

මෙම කෝටා ක්‍රමවේදය නීති විරෝධී බවට 2018දී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදුන් අතර ඒ සමග එල්ලවූ දැඩි ජනතා විරෝධය හමුවේ එම ක්‍රමවේදය අහෝසි කිරීමට අගමැති ෂෙයික් හසීනාට සිදුවුණි.

කෙසේ නමුත් පසුගිය ජුනි 5 වනදා එරට මහාධිකරණයක් එරට රජයට නියෝග කළේ පැරැණි කෝටා ක්‍රමය යළි ක්‍රියාත්මක කළ යුතු බවටය.

එම තීන්දුවෙන් පසුව ඇරඹි විරෝධතා සඳහා එරට විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයෙන් ද සහාය හිමිවී ඇතැයි සඳහන් ය.

Leave a Reply

Your email address will not be published.