මාරක රිය අනතුරු කිහිපයක් – 5ක් මරුට

දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (11) මෙම අනතුරු සිදුව තිබුණේ පුනරීන්, උහන, ඇල්පිටිය සහ වරකාපොළ යන පොලිස් වසම්වලදී ය.

පුනරීන් සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් වේගය පාලනය කරගත නොහැකිව කොන්ක්‍රීට් කණුවක ගැටීමෙන් 27හැවිරිදි තරුණයෙකු මියගොස් තිබේ. 

මේ අතර තිස්සපුර ප්‍රදේශයේදී යතුරුපැදියක් ට්‍රැක්ටර් රථයක් පසුකර යාමට ගත් උත්සාහයේදී මාර්ගය හරහා ගිය සුනඛයෙකු එහි ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර අනතුරින් යතුරුපැදිය පැදවූ පැදිකාරිය ට්‍රැක්ටර් රථයට යටවීමේන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර සිටිය දී මියගොස් ඇති බව වාර්තා විය.

මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

තවද අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහපල්ලිය ආසන්නයේදී ඇල්පිටිය දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවන වූ බස් රථයකට යටවීමෙන් 41 හැවිරිදි අයෙක් මියගොස් තිබේ.

මේ අතර කොළඹ-නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපසින් ගැටීමෙන් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථය යතුරුපැදියේ ගැටීමෙන් පසු යතුරුපැදිය පෙරළී ගොස් පැදිකරු සහ පසු පැදිකරු මාර්ගයේ ඇද වැටී බස් රථයේ ඉදිරිපස රෝදයට හසුවීමෙන් ඔවුන් දෙදෙනා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මෙලෙස මියගොස් ඇත්තේ 38 හා 43 හැවිරිදි වියේ පසුවූ මාතලේ සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published.