ප්‍රමිතියෙන් අඩු ඖෂධ කිසිවක් රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඖෂධ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (30) පැවසුවේය.
ඇමැතිවරයා මෙසේද පැවසුවේය.
ප්‍රමිතියෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජයෙන් කිසිදු ඉඩක් නැහැ. කිසිදු බියකින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධතිය තුළින් ලබාදෙන ඖෂධ ආරක්ෂිතව භාවිත කළ හැකියි.
වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳවත්, ඖෂධ මිලදී ගැනීම පිළිබඳවත් වැරදි අසත්‍ය ප්‍රචාර රැසක් මාධ්‍ය මඟින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට මෙම මාධ්‍ය හමුව පවත්වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනීමක් සිදු කරන්නේ නැහැ. ගුණාත්මකභාවයෙන් අඩු කිසිදු ඖෂධයක් ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟින් ලබා ගැනීමට කටයුතු කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර නොමැති ඖෂධ මෙරටට ගෙන්වීමට කිසිදු අවස්ථාවක කටයුතු කරන්නෙත් නැහැ. ඒ සම්බන්ධව කථිකාවක් ඇති වී තිබෙන්නේ කරුණු දෙකක් හේතුවෙන්. එකක් තමයි ශ්‍රී ලංකාව සහ ඉන්දියානු රජය අතර, රජයන් දෙකක් අතර ගිවිසුමක් මාර්ගයෙන් ශ්‍රී ලංකාවට ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ගේ යෝජනා ක්‍රමවේදයකට අනුව “ජනඖෂධී ඖෂධ ව්‍යාපාරය” නමින් රජය සතු ආයතන මඟින් ගුණාත්මකභාවයෙන් ඉහළ ඖෂධ ඉන්දියානු ජනතාවට ලබාදීමේත්, අසල්වැසි රටවලට ලබාදීමේත් ක්‍රමවේදයක් පවතිනවා.