සැත්කම්වලදී මව්වරුන් පිරිසක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ශියාබ්දීන් මහතාට එල්ල වී තිබූ චෝදනාවලට අදාළ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ඊයේ (06දා) නියෝග කළේය.
සාෆි නිසාම්දීන් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වීම සැලකිල්ලට ගෙන නීතිපතිවරයාගේ උපදෙස් මත වෛද්‍යවරයා නිදහස් කරන බව කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය පරීක්ෂණ වාර්තා අනුව අදාළ මව්වරුන් විත්තිකාර වෛද්‍යවරයා සිදු කළ සැත්කම්වලදී වඳභාවයට පත්ව ඇති බවට සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී නොමැති බව ද මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.
මේ අතර වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
අයථා මුදල් ඉපැයීම් සහ සිසේරියන් සැත්කම්වලදී මව්වරුන් වඳභාවයට පත් කළ බවට එල්ල වූ චෝදනා මත සාෆි නිසාම්දීන් වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල පොලිසිය මගින් ඉකුත් 2019 වර්ෂයේ මැයි මාසයේ දී විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
මේ සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වෛද්‍ය සාෆි නිසාම්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබිණි.
වසර 05 කට අධික කාලයක් තිස්සේ මෙම නඩුව කුරුණෑගල අධිකරණයේ විභාග කෙරුණු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත සාෆි වෛද්‍යවරයා මෙසේ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
චෝදනාවලින් නිදහස ලැබීමෙන් පසු අධිකරණයෙන් පිටතට පැමිණි වෛද්‍ය සාෆි මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ වසර 05යි මාස 06ක කාලයක් තිස්සේ විවිධ පාර්ශ්වයන්ගෙන් තමන්ට එල්ල වූ මෙම චෝදනා හමුවේ තමාත් තම පවුලේ සාමාජිකයනුත් විඳිනු ලැබූ පීඩාවන්ට නිමාවක් ලැබීම සතුටක් බවයි. නීතිපති දෙපාර්තමේන්තුව තමාව නිදහස් කිරීම පිළිබඳව සතුට පළ කරන බව ද වෛද්‍ය සාෆි කියා සිටියේය.