පිරමීඩ ජාවාරමෙන් රුපියල් මිලියන 1800කට අධික මුදලක් වංචා කර වසර ගණනාවක් විදේශගතවී සැඟව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහු නිවසට කැඳවාගෙන යෑම සඳහා ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ යැයි කියන කාන්තාව ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (8දා) පස්වරුවේ නියෝග කළේය.
කුරුණෑගල හා මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවන් යැයි කියන ධම්මික කුමාර රණසිංහ හා සමුද්‍රා සුරංගි ප්‍රේමචන්ද්‍ර නමැති අය එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ. පළමු වන සැකකරු පොරොන්දු නෝට්ටු ලබාදී පුද්ගලයන් විශාල පිරිසක් රවටා මුදල් ලබාගෙන වංචා කොට ඇති බවත් ඔහුට ඒ සඳහා සැකකාර කාන්තාව ද ආධාර අනුබල දුන් බවට මෙතෙක් ප්‍රකාශ සටහන් කළ 68 දෙනා ලබාදුන් තොරතුරු අනුව අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වානිජ අපරාධ විමර්ශන ඒකකය වෙනුවෙන් පෙනී සිටි විමර්ශන නිලධාරි පොලිස් සැරයන් (72322) රිෂාන් සෙනවිරත්න මහතා අධිකරණයට පැවැසීය.
සිය සේවාදායකයා එරා මිරිකර් පුද්ගලික සමාගම නමින් සමාගමක් පිහිටුවා පොරොන්දු නෝට්ටු ලබාදී මුදල් ලබාගෙන ව්‍යාපාරික කටයුතු සඳහා රුපියල් කෝටි 134ක මුදලක් ආයෝජනය කළ බව පිළිගන්නා බවත් එලෙස ලබාගත් මුදල් හා පොලී ලෙස මේ වනවිට රුපියල් කෝටි 192ක මුදලක් ගෙවා අවසන් කර ඇති බවත් ප්‍රධාන සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තුසිත ගුණසේකර මහතා අධිකරණයට පැවැසීය. ඔහු රටින් පලාගොස් සැඟව සිටියේ සෙසු ව්‍යාපාරිකයන්ගෙන් එල්ල වූ මරණීය තර්ජන නිසා වන්නේ යැයි ද අධිකරණයට පැවැසූ නීතිඥ තුසිත ගුණසේකර මහතා සැකකාර කාන්තාව පළමු සැකකරු සමඟ ජීවත්වන බවත් ඇය වයස අවුරුදු 15ට අඩු දරුවන් සිව්දෙනකුගේ මවක් වන බවත් පෙන්වා දෙමින් ඇය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.
එම සැකකාරිය ද ගෙවුම් පනත යටතේ වැරදි සිදුකර ඇති බව හා පළමු සැකකරුට එකී වංචා සඳහා ආධාර අනුබල දී ඇති බව පෙනී යන බැවින් ඇප ලබාදීමේ හැකියාවක් නොමැති බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පැවැසීය.
පොලිස් සැරයන් (72322) රිෂාන් සෙනවිරත්න, උප පොලිස් පරීක්ෂක ලක්ෂිත රසිත් පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසක් විමර්ශන සිදුකර තිබිණි.